Friday, October 27, 2023

පැහැසර අරුණක ඉරමල පිපුණාවේ....

 ගීයක අරුත - 4

ඔන්න ඉතින්. රෑ 11.18 ත් වෙලා. නිදාගන්න - සැතපෙන්න හැදුවම.... දැක්කා මේ ගීතයෙ අරුත ඉල්ලලා. ඉතින් ඒකත් ලියලම නිදාගන්නවා.
පැහැසර අරුණක ඉරමල පිපුණාවේ.... මේ ගීතය යුද්ධය නිමාවේවා කියන පැතුම උපමා රූපක වලින් දක්ෂ ලෙස කියා පා ඇති, අසන්ක පියමන්තයන්ගේ ගායනයෙන් විශිෂ්ට සාධාරණයක් කළ ගීතයක්. ඉරමල කියන්නෙ ඉර නමැති මල. ඒ කියන්නෙ යුද්ධය නිමේවා කියන ප්රාර්ථනය. පිපුණාවේ, ඇසුණාවේ වැනි පදවලින් පැතුම තීව්ර ලෙස කියාපානවා කියලයි වැටහෙන්නෙ.
පැහැසර අරුණක ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
අරුණ කියන්නෙ උදෑසන කියන එක. ඉර පායන්නෙ උදේට. ඒ ඉර සාමාන්ය ඉරක් නෙමෙයි. යුගාන්ධකාරය මකන ඉරක්. සාමාන්යයෙන් ඉරක් පායද්දි අඳුර මැකෙනවා. මෙතන යුද්ධ කාලය තමයි යුගාන්ධකාරය. යුගයක් කෙළවර විශ්වය අඳුරෙන් වැහෙනවා. ඒක බියකරු අත්දැකීමක්. ඉර පායන්නෙම නෑ. අන්න ඒ අන්ධකාරය නැතිවෙලා යන්න නම් යුද්ධයේ දුම (යුද දුම) ක්ෂණිකව නිවෙන ඉරක් පායන්න ඔ්න.
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ
ඉතින් හිමිදිරියක සීතලට අපි අඩවන්ව ඇහැරෙමින් ඉන්න වෙලාව. සැහැල්ලු සිහින හෙවත් ලූසි ඩ්රිම්ස් දකින්නෙ මේ වෙලාවට. එහෙම හීන ඒ තරම් ප්රබල නෑ. ඒ නිසා ශංෂයෙන් වගේ, සැකයෙන් වගේ කියනවා ඒ වගේ සීතල හීනෙක දැවටිලාවත් ... සාමය ඇතිවේවා කියලා. ඒක කියන්නෙත් සංඛේතයෙන්. පරෙවියා කියන්නෙ සාමයේ පක්ෂියා. පරෙවි පියාපත් ඇසුණාවේ කියන්නෙ ඒකයි.
සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ
යුද්ධ හටගන්නෙ හිතේනෙ. ඒකනෙ බුදුන්වහන්සෙ දේශනා කළේ කෙළෙස් යුද්ධය තමා අමාරුම යුද්ධය කියලා. ඒ යුද්ධය පිටස්තර අය සමඟ තියන යුද්ධයක් නෙමෙයි. තමා සමඟ තියන යුද්ධයක්. ඉතින් බාහිරින් තියන සියලු යුද්ධත් හිතේනෙ හටගන්නෙ. ඒ යුද්ධ මිය යා යුත්තෙත් හිතේ. මෙතන කියන සිත සිර කොට බැන්ද දඬු වැට තමයි සිංහළ දමිළ භේදය. ජාතිවාද වැට. ඒ වැට බිඳිලා සිතින් සිතට සෙනෙහස් සුළඟ / සුවඳ හැමුවාවේ කියන පැතුම මෙහි ගැබ්ව තියනවා.
ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ//
ලියවැල් නින්දෙ. ඒ ලියවැල් ඇහැරිලා මල් පිපෙනවා නම්... ඒ කියන්නෙ එති එතී මිනිස්සු එකා වන්ව ඉන්නවානම්... දරුවො දෙමව්පියො සිංහළ දමිළ ... එක ගහේ එතී පෝෂණය ලබනවා නම්... ඒ මල් දකින්නයි ඔ්න කියලයි කියවෙන්නෙ.
දෑල කියන්නෙ ඉවුරු දෙක කියන එක. ඒ කියන්නෙ උතුර සහ දකුණ. ඉඳුසැව් කියන්නෙ දේදුණු කියන එක. ඉඳු කියන්නෙ ඉන්ද්රයා. සැව් කියන්නෙ දුනු. ඉන්ද්රයාගේ දුනු... ඒ කියන්නෙ දේදුන්න. දේදුන්න කියන්නෙ දැන් තියන සමරිසි අයගෙ සංඛේතය නෙමෙයි. බලාපොරොත්තුවේ සංඛේතය. ඒ දේදුණු පායාවා කියන අදහසයි මේ කියවෙන්නෙ.
ඉතින් මිතුර, මිතුරිය, මතක් කරගන්නකො යුද්ධය සැරටම ගියපු කාලෙ. අම්මා විතරක් කඩේ යනවා අපි ගෙදර තියලා තාත්තා එක්ක. එක්කො තාත්තා විතරක් කඩේ යනවා අම්මා අපි එක්ක තියලා. මුළු පවුලම එකම බස් එකක, වාහනයක නොගිය කාලයක්. හමුදාවෙ ඉන්න අයියලා අක්කලා ගැන නිවුස් අහන් ඉන්න බැරි කාලයක්. කොටින්ම කියනවා නම් ලේ උණුසුමෙන් අපි සීතල කරපු කාලයක්. ඒ කාලෙ අපේ හිත්වල තිබුණෙ වෛරයක්. ඒ වෛරය මකන්න සාහිත්ය කලා කෙතේ වපුළ මහඟු බීජ අතර ඵලදැරූ වටිනා ගීතයක් තමයි මේ ගීතය.
අදහන්නත් අමාරුයි මේ ගී පද නිලාර් එන්. කාසිම් ලියූ බව. හේතුව ඔහු සිංහල ගෞරව උපාධියක් තියන මාතර රාහුලේට ගිය කොල්ලෙක්. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. සිංහල බසට පූර්ව ජාතියේ පිනෙන් පෙම් කරන අපූරු පෙම්වතෙක්. මේ ඔහුගැන ලිපියක් - https://www.itnnews.lk/2018/09/04/27077/
ඔහු තමා ලිව්වෙ සඳ දිය දෙවුණ සේ ... ගීතය. ඒ මා ප්රිය කරන තවත් ගීතයක්. පසුව ඒ ගැන ලියන්නම්...
පැහැසර අරුණක ගීතයට තවත් අර්ථකථන තියනවා - http://geeyaka-arutha.blogspot.com/2016/03/blog-post.html
මේ තියෙන්නෙ ගීතය - https://www.youtube.com/watch?v=uERoPYCoVhs

පැහැසර අරුණක ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ
සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ..//
ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ//
පැහැසර අරුණක...
ගායනය - අසංග ප්රියමන්ත පීරිස්
තනුව - සමන්ත පෙරේරා
පද රචනය - නිලාර් එන්. කාසිම්
නිදමි. දැන් රෑ 11. 53
දෑරංගල කුසලඤාණ

෴ මේ දිගන්තයේ ෴

 ගීයක අරුත 02

දිගන්තය යනු දිශාවේ අන්තය හෙවත් කෙළවරයි. සංසාරයක කෙළවර කියා ද සිතිය හැකිය. මෙහි වචන ගළපා ඇතත් අරුත පැහැදිලිවම නොපෙනෙන පද රචනයක් බව හැඟේ. තරුණයෙක් යොවුන් වියේ ආදරය කරන තරුණිය ඔහුට කිසිදු අවධානයක් නොදෙන බව ගීතයේ ගැබ් වී ඇති බව පෙනේ. ඈට තේරෙන්නෑ.... කියන්නේ ඒ නිසාය... අනික් පද පැහැදිලි ඇතැයිි සිතමි. පහත තියෙන්නේ ගී පද පිටුවෙන් ගත් පද වේ. ඇතැම් පද සැකසුවද මෙහි වැරදි තිබිය හැකිය. එම නිසා පද පිළිබඳ මා වග නොකියමි.

෴ මේ දිගන්තයේ ෴
~ Me diganthaye mal wasanthaye ~
මේ දිගන්තයේ.. මල් වසන්තයේ..
ඈ නිසංසලේ.. මා නිසංසලේ..
නිල් ගුවන් ගැබේ.. පායනා සඳේ..
දන්නවාද ඒ.. පෙම් කතන්දරේ..
සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්නේ නෑ.. ඇය ආදරේ දෙන්නෑ...
මේඝ මාරුතේ.. රෑට සීතලේ..
යොවුන් හැඟුම් මගේ.. තැලී පෙලේ ගතේ..
සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...
සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නෑ.. ඈට තේරෙන්නෑ..
නෙතුවැල් රැඳෙන්නෑ.. සිතුවැල් බැඳෙන්නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...
ලදුනේ අනුකම්පා.. නැතිලෝ සිතිලා..
සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
ඇය මාව දන්නෑ.. මගේ ස්නේහේ දන්නේ නෑ..
කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...
ඔබ මට ගෙන දෙන වේදනා..
යලි යලි පාරයි වේදනා චේතනා...
මා දුක් කඳුලේ නෑවෙනා..
වසන්තයේ රෑ.........
(හාදු දෙන්නෙ නෑ) ඈට තේරෙන්නෑ..
ඔබ ගැන සිතමින් රෑ දිවා..
වසන්තයේ මල් පීදිලා...
ඉවත බලාගෙන ඇයි ඔයා...
හා හා හා හා...
මට ඔබ නැති ලොව එපා..
මා සනසනු රෑ දිවා...
මට ඔබ නැති ලොව එපා...
මට ඔබ නැති ලොව එපා..
හා හා හා හා...
රෑ දිවා රෑ දිවා රෑ....
නෙතු වැල් මැලවී.
සිතු මල් වැලපී..
හසකැන් මියැදී..
හද සෝ ගෙනදී... //
.
ගායනය - රූකාන්ත ගුණතිලක

දෑරංගල කුසලඤාණ

සඳ කැන් වැසිලා ....

 ගීයක අරුත - 7

සඳ කැන් වැසිලා ....
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
එකතු කිරීමක්:
මේ ගීතයේ ඉවසන සැමියෙක් හෝ පෙම්වතෙක් ඉන්නවා. ඒ සැමියා දන්නවා බිරිඳ වෙන පුද්ගලයෙක්ව ඇසුරට කැමති බව. ඔහු ඇයට ඉඩ දෙනවා. ඒ ඇයගේ සතුට වෙනුවෙන්. අවසානයේදී ඔහු හිතනවා අපි මෙහෙමම ඉඳලා කවදා හරි වෙන් වෙමු කියලා. මේ රහස මා නොදන්නා විදියට ඉඳලා අහසට විසිකරමු කියලා හිතනවා. ඔහුගේ පරිකල්පනය බොහෝ සැමියන්ට අමාරුයි. ඒ විදියට ගත්තම ගීතයේ අර්ථය පරිපූර්ණයි.
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි
චන්ද්රකාන්තිය වැහිලා ගිහින් - අන්ධකාරයක මේ නිවස එතිලා. මාව යළි සොයා එන්න ඔබ නමැති ආලෝකය, ගණ අඳුර එවිට මැකේවි. මට ඉන්න එළිය ඔබ පමණයි.
ජීවිතයම සතු එකම සුවේ - හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු - අසල්වාසියෙකු සොයනු දැනේ
මට දැනෙනවා ඔබ කැමැත්තෙන් ඉන්න බව ළඟපාත කෙනෙක්ට. ඔබේ ඇස් මගේ වෙලා තිබුණට දැන් ඒ ඇස් හොයන්නෙ වෙන කෙනෙක්ගෙ තොරතුරු. මට ඒ වෙනස දැනෙනවා. මා ජීවිතය යැයි මා සන්තකේ තබා ගත් එකම සුවය හී සර පහරක හෙවත් වෙනත් ඇසුරක වෙළෙනවා.
මා නැත අන් සතු සිත් බිඳලා - දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා
ඔහු මෙහෙම හිතා ගන්නවා. මං කවදාවත් කැමති නෑ අනුන් සන්තක සිතක් බිඳින්න. ඒ නිසා මං අත්දෙක බැඳගෙන බලා ඉන්නවා. මං හිටිය තැනම ඉන්නවා. ඔබනෙ වෙනස් වුණේ. මේ රහස් අපි මේ ලොවෙන් යම් දවසක වෙන් වෙද්දි අහසට පමණක් කියමු. අපේ ජීවිතවල ඇතුළත වෙන කෙනෙක් නොදැනගත්තාවෙ. ඒ ඔහු හිතන විදිය සහ ඔහුගේ සංයමය. ඒ තමයි කෙටි අරුත.
කලින් ලිවූ ටික:
මේ ගීතය ගැන වික්ටර් මහත්මයා කියන්නෙ තුන්කොන් ප්රේමයක් ගැන කියවෙනවා කියලයි. එහිදීත් ඔහු මතු කරන්නෙ පිරිමියාගේ බෝසත් සිත. ගීතය ගැන ඔහු කියන කතාව විනාඩි දෙක තුනයි. ඊට පස්සෙ ගීතය. අහන්න මෙතනින්. https://www.youtube.com/watch?v=9B0o6caCx_w
සඳකැන් වැසිලා / වැටිලා කියලා දෙවිදියටම මේක ඔහු ගයනවා. ඉහත කියන්නේ සහ ගයන්නේ වැසිලා කියන වචනය. ඒක මාත් කැමති වචනයක්.
සඳ කැන් වැසුණා කියන්නෙ අඳුරයි රජයන්නෙ. එතකොටයි ඝණ අඳුර ඇතිවෙන්නෙ. එතකොටයි තනිකම දැනෙන්නෙ.
මේ තියෙන්නේ එක් ගායනයක්. ඉහති ලිංක් එක අනිත් ගායනය.
මේ ගීතය සැමියෙකුගේ හෝ පෙම්වතෙකුගේ යාචනයක්. තම බිරිඳ හෝ පෙම්වතිය වෙනත් පුද්ගලයෙකු සමඟ ඉඟියක් තැබීම, හෝ ඊටත් එහා ගොස් නිදි යහන්හි හැසිරීීීම දුටු සැමියෙකුට යක්ෂාවාස වෙන එක සාමාන්යයෙන් අපේක්ෂිත දෙයක්. නමුත් ඔහු බුද්ධිමත් සැමියෙක්. ඔහු ඒ සියල්ල මැඩලා ඇයට ආරාධනා කරනවා මේ රහස ඔබ වෙනුවෙන් රකින්නම් කියලා.
සාමාන්යයෙන් පෙම්වතුන් පසුකරන අවධියක් තමයි තමන්ට වුණු අතිශය පුද්ගලික රහස් දේවල් එකිනෙකාට පවසන එක. පිරිමියා ගැහැණියටත් ගැහැණිය පිරිමියාටත් පවසන්නෙ විශ්වාස පූර්වකව. නමුත් ඒ රහස් අවස්ථා වෙනස් විදියකට පෙරළිලා දුරදිග අවස්ථා එන්නට පුළුවන්.
නමුත් මේ ගීතයෙ සිදුවන්නෙ පිටින් ආරංචි වුණු දෙයක් තමාගේ ඇස් දෙකෙන්ම තහවුරු කරගැනීමක්. එසේ කරගෙන ඔහු සිත සකසාගෙන කරන බැගෑපත් ඉල්ලීමක්. වේදනාවේ උත්තම පුරුෂභාවයක්. බෝසත් සැමියෙක්. සැබෑ පිරිමියෙක්.
ගීතයට යමු.
සඳ කැන් වැටිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි
මේක පරිසර වර්ණනාවක්. සඳකැන් වැසිලා ගියාම අඳුර පමණයි ඉතිරි. කෑලි කපන ඝන අන්ධකාරය තියන රැයක්. ඒ රැයක පිරිමි හිතේ මෝදුවෙන්න පුළුවන් තනිකමක්. නමුත් ඒ තනිකම නැතිවෙනවා ඔබ නමැති එළිය ආවොත්. ඒ එළිය නැතිව මට ගමනක් නෑ. ගණ අඳුරත් තරුත් නිමලා මාව සොයා එන්නැයි කියන්නේ තම බිරිඳට හෝ පෙම්වතියට.
පහත කතාවට ඇතැම් අය කැමති නෑ.
මේ ගීතයට පසුබිම් වූ කතාවට අනුව ඔහු රෑ රැකියාවකට ගිය පුද්ගලයෙක්. ඔහු‌ගේ බිරිඳ ලස්සනයි. ඒ වගේම ඇය අන් පිරිමින්ගෙන් ලැබෙන අවධානයට කැමතියි. ගින්දරත් පුළුනුත් එකට තියන්න හොඳ නෑ කියලා ඈ දන්නවා. ඒත් ගින්දර පව්නෙ කියලා අර ආදරණීය වස්සානෙ ෆිල්ම් එකේ කියනවා වගේ ඇයට ඇදෙන එක්තරා පිරිමියෙක්ට ඇය ස්වකැමත්තෙන් පතිදම් දෙනවා.
මෙවැනි දේවල් වෙද්දි ගමේ අනෙක් පිරිමි ගෑණු සීසීටීවී උස්සන් ඉන්නවනෙ ෆුල් HD දාගෙන. ඉතින් සැමියාට ආරංචි වෙනවා. ඔහු සැකෙන්. සැකය තියනකොට සුළු දෙයක් දැක්කත් බලන්නෙ ඒ සැකය තහවුරු කරගන්න. ඔහුට දැන් පේන්න ගන්නවා ඇයගෙ වෙනසක්. ඔහුට හිතෙනවා මිනිස්සු කියන දේ හරි වෙන්නැති කියලා. ඉතින් ඔහු කලබල වුණා ද? නෑ. ඔහු එදා රෑත් ඇයට කියනවා මං එහෙනම් වැඩට ගිහින් එන්නම් අදත් ෂිෆ්ට් එකක් වැටුණා කියලා. ඇය හා කියනවා. ඔහු සුපුරුදු විදියට කෑම එකත් අරන් මල්ලෙ දාං පාරට බැහැලා වැඩට නොයා නොපෙනෙන දුරකින් ඉන්නවා.
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මේක චිත්රපටියක සිදුවීමක් වගේ. චිත්තරූප ජනනය කරනවා. ඔහුගේ ජීවිතයේ තියන එකම සුවය තමයි ඇය. ඔහු ඇගෙන් තමයි රිදුම් පිරිමැදගන්නෙ. නමුත් ඒ සුවය ඔහුගේම ඇසින් පේනවා ඇගේම කැමැත්තෙන් අසල්වාසියෙකු සමඟ රැඳෙන අයුරු. හී සර පහරක වෙළෙනු පෙනේ. හී සර කියන්නෙ ඒ අසල්වැසියා. ඇයි හීසර කියලා කියන්නෙ. ඒ හී සර විෂ සහිතයි. අසල්වැසියාටත් දරුවන් ඇති. බිරිඳක් ඇති. ඔවුන් මේ ලස්සනට ඉන්න පවුලටත් විෂ පොවනවා.
ඇය අසල්වාසියාට දැනුම් දෙන්න ඇති අදත් එන්න එයා ගෙදර නෑ කියලා. මේ විදියට ගිය කතන්දරේ අද එක සිදුවීමක් තමා මේ සැමියා අත්විඳින්නෙ. මේ ලොව මට අයිති ඈ සතු ඇස් දෙක අසල්වැසියෙක්ව සොයා ඔහු හා පෙමින් වෙළෙනු ඔහුට ශපථ වෙනවා. මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ.... මෙතන වික්ටර් රත්නායකයන් උච්චව ගායනා කරනවා. සංගීතයත් උච්ච වෙනවා. අසල්වාසියා මට අයිති ඇගේ නෙතු පැහැරගෙන. නමුත් ඔහු මොකද කරන්නෙ?
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
ඔහුගේ හිත ශක්තිමත්. ඔහු අන්සතු සිත් බිඳපු නැති පාරමිතාවෙන් ඒ බෝසත් හිත හිතන්න ගන්නවා. දෑතම බැඳගෙන ඉන්න කෙනෙක් ඉන්නෙ සිතුවිලිවල. ඔහු වෙනත් දේකට අවධානය දෙන්නෙ නෑ. ඔහු තීරණයක් ගන්නවා. අපි මෙහෙම්ම එකට ඉන්න විදිය ගැන හිතමු. මේවා රහස්. මේ රහස් හිස් අහසට පමණක් කියමු. මිනිස්සුන්ට මේවා හොට් නිව්ස් වෙන්න නොදී, මාව හිරේට නොයවා මේ හිරේ කරගෙන යමු. අපි යම් දවසක වෙන්වෙමු ඒ සම්මත විදියට. මට පුළුවන් මේක දරාගන්න. ඉතින් ඒ බිරිඳට බෑ කියන්න බෑනෙ.
ඔහුගෙ අතටම අහුවෙලානෙ. එතන ඒ අසල්වාසියා ඉන්නත් ඇති. නැත්නම් ඔහු මේ කතාව බිරිඳට විතරක් කියන්න ඇති. සියල්ල සිදුවනතුරු බලා නොසිට සැමියා ගෙදරට ගොඩ වී මේ මොකදැයි සොයන්න ඇති. වැඩට ගිය සැමියා නැවත පැමිණි කාරණාව ඇයව විමතියකට පත් කරන්න ඇති. මේ විවාහයේ කූටප්රාප්තියක්. ඈ ඔහුටත් ඔහු ඈටත් පොරොන්දු වූ පරිදි එකට ඉන්න එපැයි දුකේදිත් සැපේදිත්. මෙතන සිදුවන්නේ ඒ දුක බෙදාගැනීම.
සිරකරුවෝද මනුෂ්යයෝය. විවාහය නමැති හිරේ ගිය අයත් එබැවින් මනුෂ්යයෝය. විසඳාගත නොහැකි ගැටළුවක් නොමැත. හැඟීම් ඉක්මවා බුද්ධිය දිනූ තැන ගැටළු ශූන්යතාවය අත්විඳී. එතැන ගැටළු නිරුද්ධ වේ. එවන් සිත් බෝසත්ය. එවන් බිරින්දෑවරු ලැජ්ජාව සහ බය යන ලෝ පාලක දහම් දන්නේ නම් සංසාරයේ යළි කිසිදු දිනක ඔහුට ඒ වංචාව නොකරයි.
ගීතය අහන්න - HTTPS://WWW.YOUTUBE.COM/WATCH?V=AGUIGV_GTSW
ගීයට තියන වෙනත් අර්ථගැන්වීම්:
දෑරංගල කුසලඤාණ
No photo description available.
All reactions:
Thilina Priyasad, Kasun Jayarathna Thanthreewaththa and 25 others

රතු නුවන් පෙති නෙතු වියන් යට.... හඬා වැලපෙන කොකිලාවී....

ගීයක අරුත - 5
මේ ගීතයේ මෑතකදී සමාජයේ කතාබහට ලක් වූ කතාවක් තියනවා. මේ ගැනම ලියන්න කියූ නිසා ලියනවා. ගීත විචාර ලියන්න කියලා ඉල්ලීම් එවන අය ඉවසන්න. මම මේක විතරක් කරන කෙනෙක් නෙමෙයි. වෙන වැඩ අධික කෙනෙක්. එහෙනම් ගීතයට යමු.
රතු නුවන් පෙති නෙතු වියන් යට....
හඬා වැලපෙන කොකිලාවී....
කෝකිලාවී කියන වචනය දන්නවනෙ. සිංදු කියන කිරිල්ලියක් තමයි ඈ. මෙතන කෝකිලාවී කියන්නෙ ටිකක් වැඩිමහල් ගායිකාවක්. ඇගේ ඇස් රතුවෙලා ඒ ඇස් අස්සෙන් ඈ හඬන්නෙ මොකක් හරි හේතුවකට. /ලස්සනට සිංදු කියන්න පුළුවන් ගැහැණු කෙනෙක් අහක බලාගෙන එළිමහන් තැනක ගලක් උඩ වගේ ඉඳගෙන දෙපා අකුළගෙන දෑත් දෙපා වටා බැඳගෙන ඉන්න ආකාරයේ රුවක් මතක් කරගන්න/.
වසා රතදර සුසුම් තවරා....
මේ පද ටික ඇගේ පෙම්වතාගෙන්. ඔහු බලන් ඉන්නවා ඈ ඇගේ රතදර හෙවත් දෙතොල් වසාගෙන ඒ දෙතොල් වල සුසුම් තවරනවා.... හදවතේ බුර බුරා නැගෙන දුක - සංකාව - තනිකම නිසා.
ඔබේ සුවඳට මත් වෙලා මම.... ඔහේ හිටියා සම වැදී මෙමා....
ඔහේ හිටියා නෙතට නෙතු යොමා.... ඔහේ හිටියා සමවැදී
පෙම්වතා ඇයට ආදරෙයි. ඇගේ සුවඳටත් ආදරෙයි. ඒ සුවඳින් ඔහු මත් වෙලා. ඈව වචනයෙන් සනසන්නෑ. ඔහුත් වදන් නොබිඳ ඇයට එක්වෙනවා. වචන නැතත් ඔහු ඉන්නෙ ඇය සමඟ කතාවක. ගොඩක් ප්රේමය තියන තැන්වල වචන අවශ්යය නෑ කතා කරන්න. ඒත් ලොකු දෙබස් සිදුවෙනවා නිහඬවම. ඔහු ඔහේ ඇගේ සුන්දර මුහුණට සමවැදී නෙතට නෙතු යොමා ඔහේ ඉන්නවා.... ඒක සමාධියක්.
... වින්දනය ලැබුවා.... මන්මත්ව හිටියා.... වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා....
මෙතන තියන වින්දනය ඒක පාර්ශ්විකයි. ප්රේමවන්තයාට පමණයි. ඔහු ඒ විඳින්නෙ ඈව අවසන් වතාවට කියලා ඔහු දන්නෙ නෑ. ගොඩක් පිරිමි දන්නෑ පෙම්වතිය තරහා වුණාම මොකක් කරන්න ඔ්න ද කියලා. ඒ තරහා අස්සෙ තියෙන්නෙ තරහම නෙමෙයි. දුක. දුක වේදනාවට හැරුණම ඈට පාලනය කරගන්න බෑ. /වේදනාව වෛරයට පෙරළෙන තැනක වුණත් මුල තියෙන්නෙ ආදරය. කාලි කතාව වගේ./
ඔහු ඇගේ රුව විඳිනවා. ඔහු ඒ රුවින් මන්මත් වෙනවා.... ඒ ඔහුට කරන්න පුළුවන් දේ. බරක් පතළක් ඔහුට තේරෙන්නෑ....ඔහු ඇයට වඩා ගොඩක් වයසින් බාලයි.
රතු නුවන් පෙති නෙතු වියන් යට.... හඬා වැලපෙන කොකිලාවී....
වසා රතදර සුසුම් තවරා.... ඔබේ සුවඳට මත් වෙලා මම....
ඔහේ හිටියා සම වැදී මෙමා....
ඔහේ හිටියා නෙතට නෙතු යොමා....
ඔහු ඊළඟට ඇයව ස්පර්ෂ කරනවා. ඒ කොටස තමා මේ කියවෙන්නෙ පහතින්.
ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්.... මතින් පැහැපත් රෝස පාටින්....
ඔහුගෙ ඇඟිලි තුඩු ඇගේ රෝස පාට කම්මුල් මත අඳිනවා සියුම්වට. ඇගේ ලස්සන රෝස පාට ඔහුගේ ඇඟිලිවලට වැටිලා.... ඊළඟට ඔහු යන්නෙ ඇගේ දෙකන්පෙති දිහාට. කන් පෙති කියන්නෙ ශෘංගාරය විඳින්න පුළුවන් උපරිම තැනක්. ඒ ස්පර්ෂය විදුලියක් වගේ ස්පර්ෂයක්. විෂේශයෙන්ම පිරිමි ස්පර්ෂයක් වුණාම.
ඒ ස්පර්ෂය තීව්ර වෙනවා. උණුසුමක් දක්වා යෑමට තරම්. ඒ කියන්නෙ ඔහුගේ දිව තුඩම ඇගේ කන්පෙති වලට ළං වෙලා. ඔහුට ඔහුගේ හැඟීම් පාලනය කරගන්න බෑ. ඒ තරුණයන්ගෙ හැටි.
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කෝකිලාවී
ඔහු දිනනවා. අර උණුසුම් ස්පර්ෂයට ස්ත්රී චිත්තය යටත්. ඈ හඬින් අවදිවෙනවා. ඈ කතා කරනවා. තුරුළුවෙන්න මට කියලා. ඒක ව්යංගයෙන් කියලා හඬින් අවදිව කෝකිලාවී කියලා.
ඈ ඔහු දැන් සියලු ගැටළු අමතක කරනවා. සමාජ අපහාස, නින්දා, සමීපතයන්ගේ ගැටළු, අතීතය ... මේ සියල්ලම දැන් ඉවතට.
වින්දනය ලැබුවා.... මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම්
මන්මත්ව හිටියා....
නා නනනේ... නනනේ.... නා නා.... නේ නා නා.....
මේ තියෙන්නෙ ඒ ලැබූ සතුට. ඒ දෙදෙනාගේ එක් වීම. සමාජයේ මෙවන් එක්වීම් කොතෙකුත් ඇති. නමුත් ඔබ ප්රසිද්ධ නම් ඒ සමඟම ඔබට ලැබෙන ටොන් එකක් පමණ අවධානය ඔබට විඳගන්නට සිදුවෙනවා. ඒ විඳගැනීම ඒකපාර්ශ්වීය නොවන්නෙ තමන් පෙම් කරන කෙනා කොහොමහරි ළඟින් ඉන්න නිසා. දැන් ඒ සියල්ල දෙඋරක් මත. ද්වීපාර්ශ්වීයයි. ප්රේමය ඒකපාර්ශ්වීය නම් ප්රශ්න දෙකයි පුද්ගලයො එක්කෙනයි. ප්රශ්න දෙක තමයි ප්රේමය ඒක පාර්ශ්වීය වීමේ දුක සහ ප්රශ්න බෙදාගන්න බැරිකම. ප්රේමය ද්වීපාර්ශ්වීය නම් ප්රශ්න එකයි පුද්ගලයො දෙන්නයි. එතන දෙන්නෙක් ඉන්න නිසා ඒකපාර්ශ්වීය ප්රේමයේ දුක නැහැ. දෙන්නම මුහුණ දෙනවා එකට ඔ්නම දේකට. ඒකට වයස් භේදය අදාළ නැහැ.
මේ ගීතයට ලයාන්විත කටහඬක් එකතු කරන්නෙ මලිත් පෙරේරා කියන යුගයේ තාමත් ජනප්රිය තලයේ රැඳෙන තරුවක්. ඔහු ගායනයෙන් අර කෙළිලොල් බව මොනවට නිරූපණය කරනවා. මෙතන ඔහුගේ චංචලා චංචල නොවී හමු වූ බවක් පේනවා ඇති. ඊට නොදෙවෙනි හද ඇදබැඳගන්නා සංගීතයක් අපිට ඇසෙනවා. දෙවරක් අසන්නට හිතෙන තරම්. ඒ ගායකයාගේත් රචකයාගේත් සංගීතයේත් විශ්මය.
ප්රේමය නම් පුදුමයි.
“You are born half; you will be looking for the other half for the rest of your life” කියලා කතාවක් තියනවා. අපි ඉපදෙන්නෙ අඩක්ව. අපේ ඉතුරු භාගය ජීවිත කාලය පුරාම සොයන්න වෙනවා. සමහර විට කලින් හමුවෙනවා. සමහරවිට වියපත් වෙලා හමුවෙනවා. ඒ ඉතුරු අඩ හමුවුණාම ජීවිතය සම්පූර්ණ වෙනවා. අසම්මතය බිඳෙනවා. ඔවුන්ට එය සම්මතයක්.
මේ තියෙන්නේ ඒ ගීතය - https://www.youtube.com/watch?v=16C5EYW8xwk
නනනේ.... නනනේ.... නානා.... නානා.... රතු නුවන් පෙති නෙතු වියන් යට....
හඬා වැලපෙන කොකිලාවී....
වසා රතදර සුසුම් තවරා....
ඔබේ සුවඳට මත් වෙලා මම....
ඔහේ හිටියා සම වැදී මෙමා....
ඔහේ හිටියා නෙතට නෙතු යොමා....
ඔහේ හිටියා සමවැදී...
වින්දනය ලැබුවා....
මන්මත්ව හිටියා....
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම්
මන්මත්ව හිටියා....
රතු නුවන් පෙති නෙතු වියන් යට....
හඬා වැලපෙන කොකිලාවී....
වසා රතදර සුසුම් තවරා....
ඔබේ සුවඳට මත් වෙලා මම....
ඔහේ හිටියා සම වැදී මෙමා....
ඔහේ හිටියා නෙතට නෙතු යොමා....
ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්....
මතින් පැහැපත් රෝස පාටින්....
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කොකිලාවී වින්දනය ලැබුවා....
මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම්
මන්මත්ව හිටියා....
නා නනනේ... නනනේ.... නා නා.... නේ නා නා.....
-දෑරංගල කුසලඤාණ

හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ...

 ගීයක අරුත - 6

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැඳි ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි
හෙට දවසේ....
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අළුත්වන්
ආදරයම මම ඉදිමි බලා
මේ ගීතය නොයෙක් විදියට අර්ථ කථනය වෙලා තියන ගීයක්. මට මේ ගැන ලියන්න කියපු කෙනාගෙන් මම ඇහුවා මට දඬුවම් කරන්නද මේ ගැන ලියන්න කිව්වෙ කියලා. එහෙම නෑ කියලා නම් කිව්වා.
මේ ගැන මීට කලිනුත් මගෙන් අහලා මේ ගීතය ගැන හෙව්වා. අපි අහලා පුරුදු ගීතයක්. මා සොයාගත් අර්ථ දෙකකුත් මා විසින් පිරිනමන අර්ථයත් මෙහි ලියන්නයි අදහස. අර්ථ එන්නෙ මෙහෙමයි.
1. මත්පැන් ගැන
2. ගීතය ගුවන්විදුලියේදී අඩක් ලියැවී පසුව ඉතුරු අඩ ලියැවීම.
3. ප්රේමය
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ කියන්නෙ ඒ මත්පැන් ලෝලියෙක්ගෙන් වැඩක් ගන්න නම් මත්පැන් දුන්නම පුළුවන් කියන එයාගෙ හිත වැඩ කරන විදිය.
දෙවෙනි අර්ථය මෙතැන තියනවා - https://geeyakawathagotha.fandom.com/.../%E0%B7%84%E0%B7...
එතන කියවෙන්නෙ ප්රේමකීර්ති ද අල්විස් රචකයා ගුවන් විදුලි සංස්ථාවට පැමිණි වෙලාවක ප්රියා සූරියසේන ගායක තුමන් විසින් ඔහුට කියා මුල් පද කිහිපය කුරුටු ගා ගෙන ඊළඟ දවසේ ඒ කොලේම ඉතුරු ටික ලියා දුන් බවයි.
මා ලියන්නේ තුන්වැනි අර්ථය. ඒ කියන්නෙ ප්රේමය. මේ ගීතයේ ප්රේමයත් කාර්යාලයීය ප්රේමය කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නෙ ඒ දෙන්නා අතර යම් බැඳීමක් ඇතිවෙලා. ඔහුට ඇය දැකීම මිහිරක්. ඒ මිහිර පමණක් නෙමෙයි, ඇය ගේන බත් පත වුවත් මිහිරි නිසා ඔහු ඇයට කවා, බත් පත හිස් කරනවා. ඇය බඩගින්නෙ ඉඳන් හරි ඔහු කනවා නම් ඒ ඇයගෙ මිහිර. ආදරයේ හැටි තමා ඒ.
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
මේ අදහස්ම වෛශ්යාවක් හමු වූ පුරුෂයෙක්ට හිතෙන්න පුළුවන්. සමහර වෛශ්යාවන් ලිංගික එකතු වීමකට පමණක් හමුවන්නේ නැහැ. පිරිමින්ගෙ තියන මානසික ආතතීන් සමනය කරන අම්මත් ඈ. ඇය තනියම ඉන්න නිසා බත් පිහලා ඔහුට දීලා ඔහුව සනසන එක අලිංගිකව ඇය විසින් කරනවා වෙන්න ඇති. නමුත් ඒ දෙන්නා එක වහලක් යට නෑ. මේ කොයි ආකාරයෙන් ගත්තත් ඊළඟට කියවෙන කොටස තුළ තියෙන්නෙ නොවෙනස් ආදරය.
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැඳි ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි
ගීතමය තාලයෙන් සරළව කියවෙන්නෙ මා හදේ රැඳි ආදරය තමයි නොවෙනස් වන එකම දේ. ඔහු මේක ඇයට වඩාත් තහවුරුව කියන්නෙ ඒ එකම දේ නිත්යයි කියමින්. ඔහු ඊළඟට කියනවා නැවක් පවතින්න නම් සයුරක් ඔ්න. ඔහු නැවක්. ඇය තමයි සයුර. ඒ දෙක අවියෝජනීයයි.
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අළුත්වන්
ආදරයම මම ඉදිමි බලා
නැවතත් කියන්නෙ ඔහුගෙම නොවෙනස්වන ආදරය ගැන. ලෝකෙ අනිත්යය පෙන්වන සුලබ උපමාව තමයි මල්. අද පිපෙන මල හෙට පිපෙන්නෙ නෑ. ලෝකය වෙනස් වෙමින් දිවයෑම තමයි ලෝ දහම.
අළුත් ආදරය බලා මම ඉන්නවා. එහෙම නැත්නම් අළුත් ආදරයම මමයි. ඒ මම හැමදාම වගේ මෙතනම ඉන්නවා. බලාගෙන.
එහෙනම් මෙතනින් මම නවතින්නම්.
ගීතය අහන්න මෙතැනින් - https://www.youtube.com/watch?v=IO1XztCpb1Q&feature=share...
දෑරංගල කුසලඤාණ

තරු අරුන්දතී නෙතු පහන් නිවා....

 ගීයක අරුත:

වසන්තය කියන්නෙ යොවුන් කාලය. ඒ කාලෙදිම හිත සැලෙන වෙන්වීමක්. ඇය පවනක් වගේ ඈතට ගියත් සුවඳ විතරක් ඔහු ළඟ. සුදු රැළි ගවුම අඳින්නෙ ඉස්කෝලෙ කාලෙ. ඇයත් ඔහුට දඟකා⁣ර විදියට පෙම් කළත් ඒ මතකය පමණයි දැන් ඉතිරි.
"අරුන්දතී තරුව...
මෙය හුදෙක් එක් තරුවක් පමණක් ම නොවේ...
එය පුරාතන හිංදු සංස්කෘතික අාභාෂය අනුව, නොසැලෙන එ නම් තිර පති වෘතාවේ සංකේතයයි.
තව දුරටත් පවසන්නේ නම්, දෙහදක් අතර ඇතිවන සොඳුරු, සදාකාලික බැඳීමේ සංකේතයයි.
අප දිවයින තුළ පවා අතැම් සංස්කෘතියක, මංගල උත්සවයක දී අරැන්දතිය බැලීම අනිවාර්යය අංගයකි.
පරමාදර්ශී බිරිඳක හා සැමියකු ලෙස නොසැලී, පති දමින් බැඳී සිටීම සංකේතවත් කරමින්,
මංගල මොහොතේ දී මිරිස්ගල මත තැබෙන මනාලියක පා'ඟිල්ලට මංගල මුදුව පළඳවන අභිනව සැමියා, ඉන්පසු, තම සරණට පත් බිරිඳගේ නෙත් යොමු කරන්නේ අරැන්දතී තරුව වෙතයි.
සොඳුරිය, අර අෑත අහසේ අරුන්දතිය ඔබට දිස්වේ දැයි ඔහු තම බිරිඳ විමසන අතර, එදෙස බලන අැය, එය දුටු බැව් පවසයි.
මංගල දිනයේ පළමු අංගය ලෙස ඔවුනොවුන් එසේ, අරුන්දතී (සිකුරු) තරුව සාක්ෂි කොට එක්ව විසීමට ගිවිස ගනියි...
නමුත් එසේ සාක්ෂි දැරූ අරැන්දතී තරුව
නෙතු පහන් නිවා, එනම් දෑස පියාගෙන, එනම් කිසිවක් නොදුටු ලෙස දුරට වී, අවධානයට ලක් නොවන අයුරින් නිසොල්මන්ව සිටියි."
ඒ කොටස තරු අරුන්දතී ගීතයෙන් උ. ගැනීමක්.
ඔහුගේ සඳ වෙනත් පතිවතක සැඟවී යද්දි ඔහුගෙ යොවුන් කල සිහින බොඳ වෙනවා. මල් පාවඩ මතින් වෙන කෙනෙකුට... මගේ හිතේ තාමත් ඉන්න ඈ..
දෑරංගල කුසලඤාණ

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා....

 ගීයක අරුත - 03

මේ ගීතයට යළිත් අවධානය ගෙනා සබඳ (එය ඔහු දැනගත්තාම ඇති) ඔබට ස්තුතියි. මේ ගීතය විචාරවලින් අඩුවක් නැති ගීතයක් කිව්වොත් නිවැරදියි. මං මුලින් හිතුවෙ ගායකයා අමරදේව කියලයි. නමුත් ඒ ලයාන්විත හඬ ශෘංගාරයට පෙරළන්නෙ ඩබ්. ඩී. ආරියසිංහයන්.
තිසර තුඩට තුඩ නගන්න
ඉඩ හරින්න රාධා
තිසර තුඩ කියන්නෙ කාන්තා පුන් පියයුරක අග. නිපල් එක කියන්නෙ මේකට. පිරිමියෙක් උපන් දා සිට ප්රිය කරන තැන. පිරිමි කම සඟවාගෙන ඉන්න බැරි කරන තැන. එතැනට මුව තියා ස්පර්ෂ කොට ඇයත් ඔහුත් සන්තර්පණය වීම පෙම් ලොව දෙදෙනෙක් එකෙක් වෙන සිදුවීමක්. තුඩ නගනවා යන්නෙහි අදහස එයයි. මතුපිට අර්ථය හංසයා හොටින් හොට තබා අර ප්රේමයේ සංඛේතය මවනවා වගේ සිදුවීමක්.
රාධා කියන්නෙ ගොපළු කෙල්ලක්. ඇය ඉන්නෙ අමනාපෙන්. හේතුව ක්රිෂ්ණා වෙන කෙල්ලන් වටකොටගෙන සිටීම. ඔහු ගොපලු කෙල්ලන් සැමගේම හදවත දිනාගන්න තරම් කඩවසම්. නමුත් ඊටත් වඩා ලස්සනයි රාධා. ඒත් එක ගැටළුවක්. රාධා විවාහකයි. ඇය තම සැමියාට කොතරම් පෙම් කරන්න උත්සාහ කරත් බැරිවෙනවා. අන්තිමේදි ඇය ක්රිෂ්ණාටම ළං වෙනවා. මේ කාලෙ ක්රිෂ්ණා වෙස්වලාගෙන හිටිය කුමාරයෙක්. කතාවෙ හැටියට ඔහු ගොපලු රාජධානියෙන් ගිහින් රජ කිරුළ පැළැන්දුවම රාධාව යළි මුණගැහෙන්නෙ නැහැ. ඒ ඔහුගේ කාර්යබහුලත්වය නිසා. බොහෝවිට සමහර පිරිමි ඒ විදියයි. ඔවුන්ට අවශ්යය වුණත් ඔවුන්ගෙ ජීවිතේ ඉන්න රාධාවන් හමුවෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. කතාවට එමු.
මහද සුරත් නෙලුම් කැකුල
දැදුරු වෙන්න පාරා
මගේ හදවත නමැති රතුපාට නෙළුම් කැකුළ කියන එක හදවත වෙන්නත් පුළුවන්. නැත්නම් පිරිමින්ගේ පිරිමි ඇඟ නෙළුම් කැකුළකට සංඛේතවත් කළා වෙන්නත් පුළුවන්. කාන්තාවක් වශයෙන් දකින්න පුළුවන් වන්නේ නම් ඒ විදියට. එතකොට ඒ නෙළුම් කැකුළ දැදුරුවෙන්න පාරන්නේ කොහොමද? එය දැදුරු වෙනවා යනු පිපීමය. එය පාරා පිපීම යනු සම්පූර්ණයෙන්ම පිබිදී යෑමය. එය එසේ තිබුණාවෙ.
දුනු දියෙන් මිදී මදරද
රාව නගන මීපා
දුන්නෙන් මිදී සද්දෙට ඊතලය යනවා වගේ සංකල්පයක්. ඒක රාගයෙන් උමතුවට පත් පිරිමින්ගෙ ඇතිවන පරිවර්තනයක්. මදරද කියන්නෙ අනංගයා. මීපා කියන්නෙ මධු පානය හෝ මී මැස්සන්. ඔවුන් රාවය නංවනවා අවටින් කියලා ගත්තම සරළයි. ආයෙත් කිව්වොත් මදරද හෙවත් අනංගයා තමයි පෙම්වතුන් එකතු කරන හීය විදින්නෙ. දෙදෙනාගේ එක්වීම තවත් ශක්තිමත් වී ඇතැයි මෙයින් පෙන්වන බව හැඟේ.
කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
පරිසරය තුළ කොළොම් මල් පිරිලා. රාධා ක්රිෂ්ණා එක්වන්නෙ කොළොම් ගහක් යට. රාගයට අතවනන සංඛේත හැමතැනම. දෙදෙනාට එක්වීමට තිර දාන්නෙ ඒ කැලේ. මමන මද පොදින් සීතල කියන්නෙ අර මල් හැලිලා වැපිරිලා තියන කලාපයක ඔවුන් එළූ සළුව සේදෙන්න තරම් ඇයව සුරතාන්තයට රැගෙන ගොස්. මේ පද කියවෙන වේගයත් සංගීතයත් යළි යළිත් අහන්න. එතනින් දැනේවි කොතරම් වේගයක් අපේ හදවත්වල ඇතිවන රාගයෙන් ඇති කරනවද කියලා. විශේෂයෙන්ම එකතු වීමකදි.
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
කටයුත්ත අවසන් වූ බවයි රත්න ශ්රී වක්රාකාරව කියන්නෙ. ඒ සළුව දැන් සෝදලා අපි අපේ සුසුම් නමැති සුළඟින් වේලෙන්නට දෙමු.
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
යළිත් එකතුවෙනවාය කියන සංඛේතයයි ඒ. ඒකට ටිකවෙලාවක් ඉන්න එපැයි.
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
නියඟලා මල කියන්නෙ විෂ පිරුණු මලක්. නමුත් ඒ මලත් ලස්සනයි. රාධාගේ අනාගතය පෙන්නුවා වගේ. ඇයට ඔහු හිමි නැති කාලයක් එන බව කිව්වාවත් ද?
අනතුරුව ඔවුන් දෙදෙනා කළිඳු ගංගා තීරයට ගොස් හිරුගෙන් රත් වූ දියෙන් රාධාව සමඟ නාන්නෙ සියුම් සඳුන් කල්ක ඇඟේ ගාලා. පෙම්වතුන් කැමතියි එකට නාන්න. දෙදෙනාගේ ශරීරයන් දකින්න. විඳින්න ඔවුන් ආසයි. මේ වෙන්නෙ තාමත් ඉවර නොවූ තවත් ශෘංගාර පරිච්ඡේදයකට යන බව හැඟවීමයි.... ප්රේමය එතනින් අවසන් වෙන්නැහැ. ප්රේමය අර කළිඳු ගඟ වගේ බොහෝ දුර සයුර කරා ගලා යනු ඇති..
එහෙනම් ගීතය අහන්න මෙතනින් - https://www.youtube.com/watch?v=NrciyulDroo

වෙනත් අර්ථකථන -
රාධා ක්රිෂ්ණා කතාව ඉංග්රීසි බසින් - https://sites.google.com/.../radha-krishna-not-so-typical...
ගී පද
තිසර තුඩට තුඩ නගන්න
ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල
දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද
රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න
ඉඩ හරින්න රාධා
කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
ගායනය - ඩබ්ලිව් ඩී ආරියසිංහ
පද රචනය - රත්න ශ්රි විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ

දෑරංගල කුසලඤාණ
No photo description available.
reactions: