ගීයක අරුත - 03
මේ ගීතයට යළිත් අවධානය ගෙනා සබඳ (එය ඔහු දැනගත්තාම ඇති) ඔබට ස්තුතියි. මේ ගීතය විචාරවලින් අඩුවක් නැති ගීතයක් කිව්වොත් නිවැරදියි. මං මුලින් හිතුවෙ ගායකයා අමරදේව කියලයි. නමුත් ඒ ලයාන්විත හඬ ශෘංගාරයට පෙරළන්නෙ ඩබ්. ඩී. ආරියසිංහයන්.
තිසර තුඩට තුඩ නගන්න
ඉඩ හරින්න රාධා
තිසර තුඩ කියන්නෙ කාන්තා පුන් පියයුරක අග. නිපල් එක කියන්නෙ මේකට. පිරිමියෙක් උපන් දා සිට ප්රිය කරන තැන. පිරිමි කම සඟවාගෙන ඉන්න බැරි කරන තැන. එතැනට මුව තියා ස්පර්ෂ කොට ඇයත් ඔහුත් සන්තර්පණය වීම පෙම් ලොව දෙදෙනෙක් එකෙක් වෙන සිදුවීමක්. තුඩ නගනවා යන්නෙහි අදහස එයයි. මතුපිට අර්ථය හංසයා හොටින් හොට තබා අර ප්රේමයේ සංඛේතය මවනවා වගේ සිදුවීමක්.
රාධා කියන්නෙ ගොපළු කෙල්ලක්. ඇය ඉන්නෙ අමනාපෙන්. හේතුව ක්රිෂ්ණා වෙන කෙල්ලන් වටකොටගෙන සිටීම. ඔහු ගොපලු කෙල්ලන් සැමගේම හදවත දිනාගන්න තරම් කඩවසම්. නමුත් ඊටත් වඩා ලස්සනයි රාධා. ඒත් එක ගැටළුවක්. රාධා විවාහකයි. ඇය තම සැමියාට කොතරම් පෙම් කරන්න උත්සාහ කරත් බැරිවෙනවා. අන්තිමේදි ඇය ක්රිෂ්ණාටම ළං වෙනවා. මේ කාලෙ ක්රිෂ්ණා වෙස්වලාගෙන හිටිය කුමාරයෙක්. කතාවෙ හැටියට ඔහු ගොපලු රාජධානියෙන් ගිහින් රජ කිරුළ පැළැන්දුවම රාධාව යළි මුණගැහෙන්නෙ නැහැ. ඒ ඔහුගේ කාර්යබහුලත්වය නිසා. බොහෝවිට සමහර පිරිමි ඒ විදියයි. ඔවුන්ට අවශ්යය වුණත් ඔවුන්ගෙ ජීවිතේ ඉන්න රාධාවන් හමුවෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. කතාවට එමු.
මහද සුරත් නෙලුම් කැකුල
දැදුරු වෙන්න පාරා
මගේ හදවත නමැති රතුපාට නෙළුම් කැකුළ කියන එක හදවත වෙන්නත් පුළුවන්. නැත්නම් පිරිමින්ගේ පිරිමි ඇඟ නෙළුම් කැකුළකට සංඛේතවත් කළා වෙන්නත් පුළුවන්. කාන්තාවක් වශයෙන් දකින්න පුළුවන් වන්නේ නම් ඒ විදියට. එතකොට ඒ නෙළුම් කැකුළ දැදුරුවෙන්න පාරන්නේ කොහොමද? එය දැදුරු වෙනවා යනු පිපීමය. එය පාරා පිපීම යනු සම්පූර්ණයෙන්ම පිබිදී යෑමය. එය එසේ තිබුණාවෙ.
දුනු දියෙන් මිදී මදරද
රාව නගන මීපා
දුන්නෙන් මිදී සද්දෙට ඊතලය යනවා වගේ සංකල්පයක්. ඒක රාගයෙන් උමතුවට පත් පිරිමින්ගෙ ඇතිවන පරිවර්තනයක්. මදරද කියන්නෙ අනංගයා. මීපා කියන්නෙ මධු පානය හෝ මී මැස්සන්. ඔවුන් රාවය නංවනවා අවටින් කියලා ගත්තම සරළයි. ආයෙත් කිව්වොත් මදරද හෙවත් අනංගයා තමයි පෙම්වතුන් එකතු කරන හීය විදින්නෙ. දෙදෙනාගේ එක්වීම තවත් ශක්තිමත් වී ඇතැයි මෙයින් පෙන්වන බව හැඟේ.
කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
පරිසරය තුළ කොළොම් මල් පිරිලා. රාධා ක්රිෂ්ණා එක්වන්නෙ කොළොම් ගහක් යට. රාගයට අතවනන සංඛේත හැමතැනම. දෙදෙනාට එක්වීමට තිර දාන්නෙ ඒ කැලේ. මමන මද පොදින් සීතල කියන්නෙ අර මල් හැලිලා වැපිරිලා තියන කලාපයක ඔවුන් එළූ සළුව සේදෙන්න තරම් ඇයව සුරතාන්තයට රැගෙන ගොස්. මේ පද කියවෙන වේගයත් සංගීතයත් යළි යළිත් අහන්න. එතනින් දැනේවි කොතරම් වේගයක් අපේ හදවත්වල ඇතිවන රාගයෙන් ඇති කරනවද කියලා. විශේෂයෙන්ම එකතු වීමකදි.
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
කටයුත්ත අවසන් වූ බවයි රත්න ශ්රී වක්රාකාරව කියන්නෙ. ඒ සළුව දැන් සෝදලා අපි අපේ සුසුම් නමැති සුළඟින් වේලෙන්නට දෙමු.
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
යළිත් එකතුවෙනවාය කියන සංඛේතයයි ඒ. ඒකට ටිකවෙලාවක් ඉන්න එපැයි.
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
නියඟලා මල කියන්නෙ විෂ පිරුණු මලක්. නමුත් ඒ මලත් ලස්සනයි. රාධාගේ අනාගතය පෙන්නුවා වගේ. ඇයට ඔහු හිමි නැති කාලයක් එන බව කිව්වාවත් ද?
අනතුරුව ඔවුන් දෙදෙනා කළිඳු ගංගා තීරයට ගොස් හිරුගෙන් රත් වූ දියෙන් රාධාව සමඟ නාන්නෙ සියුම් සඳුන් කල්ක ඇඟේ ගාලා. පෙම්වතුන් කැමතියි එකට නාන්න. දෙදෙනාගේ ශරීරයන් දකින්න. විඳින්න ඔවුන් ආසයි. මේ වෙන්නෙ තාමත් ඉවර නොවූ තවත් ශෘංගාර පරිච්ඡේදයකට යන බව හැඟවීමයි.... ප්රේමය එතනින් අවසන් වෙන්නැහැ. ප්රේමය අර කළිඳු ගඟ වගේ බොහෝ දුර සයුර කරා ගලා යනු ඇති..
එහෙනම් ගීතය අහන්න මෙතනින් - https://www.youtube.com/watch?v=NrciyulDroo
වෙනත් අර්ථකථන -
ගී පද
තිසර තුඩට තුඩ නගන්න
ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල
දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද
රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න
ඉඩ හරින්න රාධා
කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
ගායනය - ඩබ්ලිව් ඩී ආරියසිංහ
පද රචනය - රත්න ශ්රි විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
දෑරංගල කුසලඤාණ
No comments:
Post a Comment