Friday, October 27, 2023

සඳ කැන් වැසිලා ....

 ගීයක අරුත - 7

සඳ කැන් වැසිලා ....
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
එකතු කිරීමක්:
මේ ගීතයේ ඉවසන සැමියෙක් හෝ පෙම්වතෙක් ඉන්නවා. ඒ සැමියා දන්නවා බිරිඳ වෙන පුද්ගලයෙක්ව ඇසුරට කැමති බව. ඔහු ඇයට ඉඩ දෙනවා. ඒ ඇයගේ සතුට වෙනුවෙන්. අවසානයේදී ඔහු හිතනවා අපි මෙහෙමම ඉඳලා කවදා හරි වෙන් වෙමු කියලා. මේ රහස මා නොදන්නා විදියට ඉඳලා අහසට විසිකරමු කියලා හිතනවා. ඔහුගේ පරිකල්පනය බොහෝ සැමියන්ට අමාරුයි. ඒ විදියට ගත්තම ගීතයේ අර්ථය පරිපූර්ණයි.
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි
චන්ද්රකාන්තිය වැහිලා ගිහින් - අන්ධකාරයක මේ නිවස එතිලා. මාව යළි සොයා එන්න ඔබ නමැති ආලෝකය, ගණ අඳුර එවිට මැකේවි. මට ඉන්න එළිය ඔබ පමණයි.
ජීවිතයම සතු එකම සුවේ - හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු - අසල්වාසියෙකු සොයනු දැනේ
මට දැනෙනවා ඔබ කැමැත්තෙන් ඉන්න බව ළඟපාත කෙනෙක්ට. ඔබේ ඇස් මගේ වෙලා තිබුණට දැන් ඒ ඇස් හොයන්නෙ වෙන කෙනෙක්ගෙ තොරතුරු. මට ඒ වෙනස දැනෙනවා. මා ජීවිතය යැයි මා සන්තකේ තබා ගත් එකම සුවය හී සර පහරක හෙවත් වෙනත් ඇසුරක වෙළෙනවා.
මා නැත අන් සතු සිත් බිඳලා - දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා
ඔහු මෙහෙම හිතා ගන්නවා. මං කවදාවත් කැමති නෑ අනුන් සන්තක සිතක් බිඳින්න. ඒ නිසා මං අත්දෙක බැඳගෙන බලා ඉන්නවා. මං හිටිය තැනම ඉන්නවා. ඔබනෙ වෙනස් වුණේ. මේ රහස් අපි මේ ලොවෙන් යම් දවසක වෙන් වෙද්දි අහසට පමණක් කියමු. අපේ ජීවිතවල ඇතුළත වෙන කෙනෙක් නොදැනගත්තාවෙ. ඒ ඔහු හිතන විදිය සහ ඔහුගේ සංයමය. ඒ තමයි කෙටි අරුත.
කලින් ලිවූ ටික:
මේ ගීතය ගැන වික්ටර් මහත්මයා කියන්නෙ තුන්කොන් ප්රේමයක් ගැන කියවෙනවා කියලයි. එහිදීත් ඔහු මතු කරන්නෙ පිරිමියාගේ බෝසත් සිත. ගීතය ගැන ඔහු කියන කතාව විනාඩි දෙක තුනයි. ඊට පස්සෙ ගීතය. අහන්න මෙතනින්. https://www.youtube.com/watch?v=9B0o6caCx_w
සඳකැන් වැසිලා / වැටිලා කියලා දෙවිදියටම මේක ඔහු ගයනවා. ඉහත කියන්නේ සහ ගයන්නේ වැසිලා කියන වචනය. ඒක මාත් කැමති වචනයක්.
සඳ කැන් වැසුණා කියන්නෙ අඳුරයි රජයන්නෙ. එතකොටයි ඝණ අඳුර ඇතිවෙන්නෙ. එතකොටයි තනිකම දැනෙන්නෙ.
මේ තියෙන්නේ එක් ගායනයක්. ඉහති ලිංක් එක අනිත් ගායනය.
මේ ගීතය සැමියෙකුගේ හෝ පෙම්වතෙකුගේ යාචනයක්. තම බිරිඳ හෝ පෙම්වතිය වෙනත් පුද්ගලයෙකු සමඟ ඉඟියක් තැබීම, හෝ ඊටත් එහා ගොස් නිදි යහන්හි හැසිරීීීම දුටු සැමියෙකුට යක්ෂාවාස වෙන එක සාමාන්යයෙන් අපේක්ෂිත දෙයක්. නමුත් ඔහු බුද්ධිමත් සැමියෙක්. ඔහු ඒ සියල්ල මැඩලා ඇයට ආරාධනා කරනවා මේ රහස ඔබ වෙනුවෙන් රකින්නම් කියලා.
සාමාන්යයෙන් පෙම්වතුන් පසුකරන අවධියක් තමයි තමන්ට වුණු අතිශය පුද්ගලික රහස් දේවල් එකිනෙකාට පවසන එක. පිරිමියා ගැහැණියටත් ගැහැණිය පිරිමියාටත් පවසන්නෙ විශ්වාස පූර්වකව. නමුත් ඒ රහස් අවස්ථා වෙනස් විදියකට පෙරළිලා දුරදිග අවස්ථා එන්නට පුළුවන්.
නමුත් මේ ගීතයෙ සිදුවන්නෙ පිටින් ආරංචි වුණු දෙයක් තමාගේ ඇස් දෙකෙන්ම තහවුරු කරගැනීමක්. එසේ කරගෙන ඔහු සිත සකසාගෙන කරන බැගෑපත් ඉල්ලීමක්. වේදනාවේ උත්තම පුරුෂභාවයක්. බෝසත් සැමියෙක්. සැබෑ පිරිමියෙක්.
ගීතයට යමු.
සඳ කැන් වැටිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි
මේක පරිසර වර්ණනාවක්. සඳකැන් වැසිලා ගියාම අඳුර පමණයි ඉතිරි. කෑලි කපන ඝන අන්ධකාරය තියන රැයක්. ඒ රැයක පිරිමි හිතේ මෝදුවෙන්න පුළුවන් තනිකමක්. නමුත් ඒ තනිකම නැතිවෙනවා ඔබ නමැති එළිය ආවොත්. ඒ එළිය නැතිව මට ගමනක් නෑ. ගණ අඳුරත් තරුත් නිමලා මාව සොයා එන්නැයි කියන්නේ තම බිරිඳට හෝ පෙම්වතියට.
පහත කතාවට ඇතැම් අය කැමති නෑ.
මේ ගීතයට පසුබිම් වූ කතාවට අනුව ඔහු රෑ රැකියාවකට ගිය පුද්ගලයෙක්. ඔහු‌ගේ බිරිඳ ලස්සනයි. ඒ වගේම ඇය අන් පිරිමින්ගෙන් ලැබෙන අවධානයට කැමතියි. ගින්දරත් පුළුනුත් එකට තියන්න හොඳ නෑ කියලා ඈ දන්නවා. ඒත් ගින්දර පව්නෙ කියලා අර ආදරණීය වස්සානෙ ෆිල්ම් එකේ කියනවා වගේ ඇයට ඇදෙන එක්තරා පිරිමියෙක්ට ඇය ස්වකැමත්තෙන් පතිදම් දෙනවා.
මෙවැනි දේවල් වෙද්දි ගමේ අනෙක් පිරිමි ගෑණු සීසීටීවී උස්සන් ඉන්නවනෙ ෆුල් HD දාගෙන. ඉතින් සැමියාට ආරංචි වෙනවා. ඔහු සැකෙන්. සැකය තියනකොට සුළු දෙයක් දැක්කත් බලන්නෙ ඒ සැකය තහවුරු කරගන්න. ඔහුට දැන් පේන්න ගන්නවා ඇයගෙ වෙනසක්. ඔහුට හිතෙනවා මිනිස්සු කියන දේ හරි වෙන්නැති කියලා. ඉතින් ඔහු කලබල වුණා ද? නෑ. ඔහු එදා රෑත් ඇයට කියනවා මං එහෙනම් වැඩට ගිහින් එන්නම් අදත් ෂිෆ්ට් එකක් වැටුණා කියලා. ඇය හා කියනවා. ඔහු සුපුරුදු විදියට කෑම එකත් අරන් මල්ලෙ දාං පාරට බැහැලා වැඩට නොයා නොපෙනෙන දුරකින් ඉන්නවා.
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මේක චිත්රපටියක සිදුවීමක් වගේ. චිත්තරූප ජනනය කරනවා. ඔහුගේ ජීවිතයේ තියන එකම සුවය තමයි ඇය. ඔහු ඇගෙන් තමයි රිදුම් පිරිමැදගන්නෙ. නමුත් ඒ සුවය ඔහුගේම ඇසින් පේනවා ඇගේම කැමැත්තෙන් අසල්වාසියෙකු සමඟ රැඳෙන අයුරු. හී සර පහරක වෙළෙනු පෙනේ. හී සර කියන්නෙ ඒ අසල්වැසියා. ඇයි හීසර කියලා කියන්නෙ. ඒ හී සර විෂ සහිතයි. අසල්වැසියාටත් දරුවන් ඇති. බිරිඳක් ඇති. ඔවුන් මේ ලස්සනට ඉන්න පවුලටත් විෂ පොවනවා.
ඇය අසල්වාසියාට දැනුම් දෙන්න ඇති අදත් එන්න එයා ගෙදර නෑ කියලා. මේ විදියට ගිය කතන්දරේ අද එක සිදුවීමක් තමා මේ සැමියා අත්විඳින්නෙ. මේ ලොව මට අයිති ඈ සතු ඇස් දෙක අසල්වැසියෙක්ව සොයා ඔහු හා පෙමින් වෙළෙනු ඔහුට ශපථ වෙනවා. මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ.... මෙතන වික්ටර් රත්නායකයන් උච්චව ගායනා කරනවා. සංගීතයත් උච්ච වෙනවා. අසල්වාසියා මට අයිති ඇගේ නෙතු පැහැරගෙන. නමුත් ඔහු මොකද කරන්නෙ?
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
ඔහුගේ හිත ශක්තිමත්. ඔහු අන්සතු සිත් බිඳපු නැති පාරමිතාවෙන් ඒ බෝසත් හිත හිතන්න ගන්නවා. දෑතම බැඳගෙන ඉන්න කෙනෙක් ඉන්නෙ සිතුවිලිවල. ඔහු වෙනත් දේකට අවධානය දෙන්නෙ නෑ. ඔහු තීරණයක් ගන්නවා. අපි මෙහෙම්ම එකට ඉන්න විදිය ගැන හිතමු. මේවා රහස්. මේ රහස් හිස් අහසට පමණක් කියමු. මිනිස්සුන්ට මේවා හොට් නිව්ස් වෙන්න නොදී, මාව හිරේට නොයවා මේ හිරේ කරගෙන යමු. අපි යම් දවසක වෙන්වෙමු ඒ සම්මත විදියට. මට පුළුවන් මේක දරාගන්න. ඉතින් ඒ බිරිඳට බෑ කියන්න බෑනෙ.
ඔහුගෙ අතටම අහුවෙලානෙ. එතන ඒ අසල්වාසියා ඉන්නත් ඇති. නැත්නම් ඔහු මේ කතාව බිරිඳට විතරක් කියන්න ඇති. සියල්ල සිදුවනතුරු බලා නොසිට සැමියා ගෙදරට ගොඩ වී මේ මොකදැයි සොයන්න ඇති. වැඩට ගිය සැමියා නැවත පැමිණි කාරණාව ඇයව විමතියකට පත් කරන්න ඇති. මේ විවාහයේ කූටප්රාප්තියක්. ඈ ඔහුටත් ඔහු ඈටත් පොරොන්දු වූ පරිදි එකට ඉන්න එපැයි දුකේදිත් සැපේදිත්. මෙතන සිදුවන්නේ ඒ දුක බෙදාගැනීම.
සිරකරුවෝද මනුෂ්යයෝය. විවාහය නමැති හිරේ ගිය අයත් එබැවින් මනුෂ්යයෝය. විසඳාගත නොහැකි ගැටළුවක් නොමැත. හැඟීම් ඉක්මවා බුද්ධිය දිනූ තැන ගැටළු ශූන්යතාවය අත්විඳී. එතැන ගැටළු නිරුද්ධ වේ. එවන් සිත් බෝසත්ය. එවන් බිරින්දෑවරු ලැජ්ජාව සහ බය යන ලෝ පාලක දහම් දන්නේ නම් සංසාරයේ යළි කිසිදු දිනක ඔහුට ඒ වංචාව නොකරයි.
ගීතය අහන්න - HTTPS://WWW.YOUTUBE.COM/WATCH?V=AGUIGV_GTSW
ගීයට තියන වෙනත් අර්ථගැන්වීම්:
දෑරංගල කුසලඤාණ
No photo description available.
All reactions:
Thilina Priyasad, Kasun Jayarathna Thanthreewaththa and 25 others

No comments:

Post a Comment