ගීයක අරුත - 8
මරණ තුනක් ඇති මිනිසා
මට මේ ගීතයත් අරුත්ගන්වන්න කිව්වෙ අර “තිසර තුඩට තුඩ තියන්න ඉඩ හරින්න රාධා” කියන ගීතයට අරුත් සපයන්නැයි කියූ වතපොත් මිතුරා විසින්. ඔහු ඉන්නෙ ලංකාවෙ. මා කැමතිම කවියෙක්. ඔහු උදේ තුන විතර වෙනකං පොතක් කියවමින් ඉඳලා. මට අභියෝගයක් දෙන්න භාර ගන්නවද කියලා අහලා තිබුණා. ඒ තමයි මේ ගීතය. වෙලාව අරන් ඉවසීමෙන් කරන්න කිව්වා. මේ ගීතය අසා තිබුණට මේ ගැන මම සිතලා තිබුණෙ නෑ. ඇත්තටම බැලුවම මේක භාර දූර කාර්යයක් කියලා තේරුණේ වැඩේ පටන් ගත්තට පස්සෙ.
එහෙනම් ගීතයට යමු.
මේ ගීතය පරාක්රම නිරිඇල්ලගේ සිරිමැදුර චිත්රපටයෙන්.
සයිමන් නවගත්තේගම තිර රචනා කළ මුඛ්ය චරිත හතරක් තියන චිත්රපටයක්. ඒ චරිත අතරෙ ඉන්නෙ ගෙදර මෙහෙකාරිය, විදේශ අධ්යාපනය ලැබූ අනතුරකට භාජනය වූ කොඳු නාරටිය අප්රාණික වූ සහෝදරයා, වැඩිමහල් සොහොයුරා, ඔහුගේ බිරිඳ. මෙයින් තුන්දෙනෙක්ම ගෙදරට සම්බන්ධ අය.
මේ ආබාධිත පුද්ගලයා සංගීතඥයෙක්. ඔහු පෙම් කරන්නෙ වලව්වේ සේවිකාවට. ඔහුගේ සොහොයුරා විවාහ වුණත් තමන්ගෙ අයියගෙ බිරිඳත් සමඟත් මේ පුද්ගලයා කිසියම් කුලුපග බවක් ඇති කරගන්නවා සංගීතය හරහා. මරණ තුනක් කිව්වෙ ඒකයි. මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියන ජනකවිය මේ ගීතයට පසුබිම් වෙනවා. ලූෂන් මුලින් ලියපු ගීතය තුළ පැණිකෑය වැනි අදහස් තිබිලා තියනවා. චිත්රපට කතා තේමාවට අදාළව තමයි මේ ගීතය ලූෂන් රචනා කරන්නෙ. අද මේ ගීතය රස විඳින්නෙ සිනමාවෙන් තොරව. ඒකට හේතුව විදියට ලූෂන් කියන්නෙ මේ ගීතයේ සංගීතය.
අමරසිරි පීරිස් ගායකයෙක් විදියට අමරදේව තරම්ම ඉහළට එසවෙන්නෙ මේ ගීතයෙන් කියලත් ඔහු පවසනවා.
ගීතය පරණ විදියටම මෙතනින් බලන්න පුළුවන් - https://www.youtube.com/watch?v=cxjPc9cdPXw
එහි ඉන්න අමරසිරි පීරිස් හරිම තරුණයි. නළු නිළියොත් තරුණයි.
තිරගත වූ දිනය – 1989 දෙසැම්බර් 29
ඉදිරිපත් කිරීම – තමර ෆිල්ම්ස්
නිෂ්පාදනය – බන්දුල ගුණවර්ධන
අධ්යක්ෂණය – පරාක්රම නිරිඇල්ල
කතාව - සයිමන් වගත්තේගම
දෙබස්, තිර නාටකය - සයිමන් නවගත්තේගම, පරාක්රම නිරිඇල්ල
සහාය අධ්යක්ෂණය – නිලේන්ද්ර දේශප්රිය, අරවින්ද ගමගේ
කැමරා අධ්යක්ෂණය – ඇන්ඩෲ ජයමාන්න
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සංගීත අධ්යක්ෂණය - ප්රේමසිරි කේමදාස
ගීත ප්රබන්ධය - ලූෂන් බුලත්සිංහල
ගායනය - අමරසිරි පීරිස්
රංගනය – මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, රවීන්ද්ර රන්දෙණිය
පරණ චිත්රපටි බලන්න කැමති නම් මේ තියෙන්නෙ ඒ සිරිමැදුර චිත්රපටිය - https://www.youtube.com/watch?v=nkJnDxnX7qM
චිත්රපටයේ නම සිරිමැදුර (1989). එය ගමක තියන වලව්වක්. සිරිල් (ලකී ඩයස්) නීතිඥයෙක් විදියට නිර්මලා (මාලනී ෆොන්සේකා) කියන පියානෝ වාදනයට ප්රිය කාන්තාව විවාහ කරගන්නවා. සිරිල්ගෙ බාල සොහොයුරා සම්පත් (රවීන්ද්ර රන්දෙනිය) හොඳ සංගීතඥයෙක්. ඔහු අසාර්ථක ශල්යකර්මයකින් පස්සෙ සිරිමැදුරට එනවා. ලීලා (අනෝජා වීරසිංහ) කියන්නෙ සිරිමැදුරෙ ඉන්න සේවිකාව. ඇල්බර්ට් (සිරි වික්රමගේ) කියන්නෙ වලව්වෙ උයන කෙනා. මෙහි සබඳතා ගොඩනැගී ඒ සබඳතා සුණුවිසුණු වී යන තේමාව තමයි මුල සිට අගට තියෙන්නෙ. හේතුව තමයි රහස්යභාවය සහ රැවටීම.
අලුත විවාහප්රාප්ත නිර්මලා ලිංගික ඊර්ෂ්යාව මත තම සැමියාගෝ ආබාධිත සොහොයුරා සමඟත් සබඳතාවක් ගොඩනගා ගන්නවා.
මේ ගීතයේ ගී පද දිහා නැවත නැවත බලමින් මටත් මේ චිත්රපටිය අලුතින්ම බලන්න සිද්ධ වුණා මේ ගී පද අරුත් ලිහා ගන්න. ඒකෙ වාසිය මේ චිත්රපටිය බලන්න අවස්ථාව ලැබීමත් ඒ සඳහා කාලය ඉක්මනින්ම උදා වීමත්.
මේ තියෙන්නෙ ගී පද -
මරණ තුනක් ඇති මිනිසා
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්යාවී
නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළඑළි ගන්වා
වයන්න වීණා
කන්යාවී
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්යාවී
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය ප්රේමසිරි කේමදාස
මිනිසා .....
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින්
බලන්න කන්යාවී
මෙතන මරණ තුනක් ඇති මිනිසා කියන්නේ ආබාධිත සොහොයුරා. මේ ගීතය චිත්රපටයේ කොයි හරියෙද තියෙන්නෙ කියලා බලාගන්න නම් චිත්රපටිය බලන්නම ඔ්න. චිත්රපටයේ හැටියට ලීලා කියන සේවිකාව ආබාධිත සම්පත් හාමු සමඟ ප්රේම සබඳතාවයක් තිබිලා තියනවා. ඒකට අකමැති වෙනවා ඔහුගේ සොහොයුරා. හේතු කිහිපයක් මත්තෙ. මුල්ම හේතුව තමයි නම්බුව. අයියා කම්කරු නායකයෙක් සහ නම්බුව ගැන හිතන කෙනෙක්. මල්ලි ඒවා ගැන හිතන්නැති කෙනෙක්. අයියා මේ සම්බන්ධෙට විරුද්ධ වුණ නිසා මල්ලි වාහනය අරන් යනවා බීමතින්. එතකොටයි ආබාධිත වෙන්නෙ. ඔහු මාස හයකට වැඩි කාලයක් ගිහින් පූර්ණ ආබාධිතව ලංකාවෙ සිරිමැදුර කියන තම නිවසට එනවා. ඔහුට ජීවිතාන්තය දක්වා කටහඬ අහිමිවෙනවා. කොඳු නාරටියේ ආබාධය සුවපත් කරගන්න දීර්ඝ කාලයක් ඉන්න සිද්ධ වෙනවා. නැවත ආවම ලීලා සමඟ තියන සබඳතාවය අලුත් වෙනවා. ඔහුගේ සියලු සත්කාර සාත්තු සප්පායම් කරන්නෙ ලීලා. ලීලා හැර වෙන කෙනෙක් ඔහුට සාත්තු කරනවට ඔහු කැමති නැහැ. ලීලාව විවාහ කරගන්න කියලා ඇල්බට් කියන පුද්ගලයා තීන්දු කරලයි තිබුණෙ. සම්පත් හාමු හදිසියෙම ආපු නිසා ඒ විවාහය සිද්ධ වෙන්න එකත් අනතුරේ. ඇල්බට්ට සිරිල් හාමු ඉඩමකුත් දීලා ගේකුත් හදලා දීලා ඉවරවෙද්දි ගෙට ගෙවදින්නත් විවාහය සිද්ධවෙන්නත් තියෙද්දි තමයි මේ පලහිලව්ව සිද්ධවෙන්නෙ.
මේ අතර නිර්මලා සංගීතයට ප්රියයි. ඇය සංගීතය ඉගෙනගෙනත් තියනවා. නිර්මලා කරුණාවන්තයි.
කොහොම නමුත් ගීත රචක ලූෂන් කියන විදියට ඔහුට මේ ගීතය චිත්රපටය අනුසාරයෙන් ලියන්න කිව්වම ඔහුට මතක් වෙන්නෙ මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියන ජනකවිය.
ඔහු ඒ ගීතය ලියපු අත්දැකීම ගැන මෙතන කතා කරනවා - https://www.youtube.com/watch?v=gCTgK-jUOpY
ඒ අනුව ඔහු කියනවා මරණ තුනක් කිව්වෙ තමන්ගෙ ආබාධිත අසරණභාවය, දෙවැන්න මෙහෙකාරිය, තුන්වැන්න තමයි අයියගෙ බිරිඳ සමග ඇතිවන කුළුපගභාවය. අර මරණ තුණක් ඇති මිනිසා පැණි කෑය කියන අදහස අරගෙන තමයි ගීතය රචනා වෙලා තියෙන්නෙ.
මුලදිම මේ ගීතය රචනා කරලා තියෙන්නෙ සරස්වතී සංකල්පය අනුව. හේතුව සංගීතයට සම්බන්ධ නිසා.
මේ ගීතයේ මුල් කියවීම පේමසිරි ඛේමදාසයන් සහ පරාක්රම නිරිඇල්ල අහලා වෙනස් කරනවා.
පේමසිරි ඛේමදාසයන් වාහනය පදවන ගමන් ලූෂන්ට කියනවා ගීය කියවන්න කියලා. එතකොට අර මරණ තුනක් ඇති මිනිසා බලාසිටී කියන කොටස තිබිලා තියෙන්නෙ පේළි කිහිපයකට පස්සෙ. පේමසිරි ඛේමදාසයන් කියනවා ඔතනින් ගීතය පටන් ගන්න කියලා. ඒ අනුව ලූෂන් ගීය සකස් කරනවා. එතනින් සියලු දෙනාම සෑහීමකට පත්වෙනවා. කතාවේ චරිත තමයි මේ ගීතයෙ ජීවත් වෙන්නෙ.
නිරුවත් දෑසින් බලන්න කන්යාවී... මෙතන කන්යාවිය කවුද? ඇයටයි කියන්නෙ නිරුවත් දෑසින් බලන්න කියලත්, අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වීණා වයන්න කියලත්. කන්යාවිය වන්නෙ සේවිකාව. ඇය තාම කන්යාවියක්. ඇයට කියනවා නිරුවත් දෑසින් බලන්න කියලා. ඒ කියන්නෙ මොකද්ද කියලා එකවරම පැහැදිලි වන්නේ නැහැ. ඇයට ඇස් ඇරලා බලන්න කිව්වා වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඇය ඔහු දෙස ප්රේමය නැමති සළුවට මුවා වී පමණයි බලන්නෙ..එහෙත් නූගත් ..අහිංසක දුප්පත් ඇයට පෙනෙන්නේ නෑ අනෙකුත් දේවල් ..පුංචි හාමුට ඕන..හැමදේම ..ඔහුට..
අනුරාගය..සංගීතය...පවුල ..සමාජ තත්ත්වය ..බුද්ධිමය සාකච්ඡා....මව්වත්කම...සහෝදරත්වය ...මේ හැමදේම ඕන වෙනවා...මට හිතෙන්නේ ඔහු නිර්මලා වන සහෝදරයගෙ බිරිඳට ආශක්ත වෙන්නෙ එතනදී..නිරුවත් දෑසින් බලා ..ඔහුට අවැසි කුමක්ද කියා..තේරුම් ගන්න ...කරන ඉල්ලීමක් විදිහට ..පදරචකයා ඒ..රූපකාර්ථවත් යෙදුම භාවිත කරන්න ඇති කියලයි වැටහෙන්නෙ. ඒ අදහස මට දුන්නු අමාලි මංගේෂ්කාට ගොඩාක් ස්තුතියි. වීණා වයන්න කියලත් තියන නිසා සරස්වතිය සිහිගැන්වෙන එක අරුමයක් නොවෙයි. මොකද ඇයගෙ අතේ වීණාවක් තියන නිසා.
මිනිසා තමයි ඒ ආබාධිත සොහොයුරා. ඔහුට කතා කරන්න බැරිවුණ නිසා බලා ඉන්න පමණයි පුළුවන්. නමුත් ගීතය චිත්රපටයෙන් පරිභාහිරව ඇහෙද්දි නම් හිතෙන්නෙ පොදුවේ දුක්ඛයන්හි ගැටෙන මිනිසා ගැන කියනවා කියලයි.
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිඳිද්දී
සංත්රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙනවා කියන්නෙ කාගේ හෝ නිරුවත හා කන්යාභාවය අහිමි වීමක් ගැන සංඛේතාත්මක ප්රකාශනයක් කියලයි මට හැඟෙන්නෙ. විශේෂයෙන්ම එය බලපාන්නෙ සේවිලාක වන ලීලාට. පිරිමියාට එය අදාළ නෑනෙ. මුලින් පිරිමියා බලා සිටීම ගැන කියනවා. ඇය දුප්පත්. ඇය සේවිකාවක් පමණයි කියන එක නිර්මලා විසින් ඒත්තු ගන්වනවා. ඒ දෙදෙනාම ගැහැණුන්. දැන් ගැහැණිය ගැන කියවෙනවා.
පයෝධර තුඩු ඉකිබිඳීම කියන්නෙ ඇය, ඒ කියන්නෙ සේවිකාව, මවක් වගේ ඔහුට ආදරෙයි. ඇගේ පයෝධර තුඩු වල කිරි විදින්න තරමු දාරක ස්නේහයක් කැටි වූ ප්රේමයක්. ඒ සේවිකාවට හිතාගන්න බැහැ මෙතෙක් තම නෑනා සමඟ උරණව මෙන් සිටි මේ සම්පත් හාමු සංගීතය හරහා කාන්දමක් වගේ නෑනාට සමීප වීම. ඒ වගේම සම්පත් හාමු මහත්මයා තුවක්කුවලින් ඉලක්කයට වෙඩිතියන්න ලෝලියෙක්. සංත්රාසයෙන් කියන වචනයෙදි ඒක මතක් වුණාට සංත්රාසය ඇත්තටම දැනෙන්නෙ ඒ සේවිකාවට. ඇයට තර්ජන කොතෙක් ආවත් ඇය සම්පත් හාමු මහතාට පණමෙන් ආදරෙයි. ඇයට සංගීතය බැහැ.
සංගීතය හරහා ඒ ඇති වූ නව සබඳතාව සිරිල් හාමු මහතාත් අනුමත කරනවා. හේතුව පවුල් විරසක නැතිවෙලා හිනාවක් ගෙදර මැවුණ නිසා. ඉතින් ලීලාට සිද්ධ වෙන්නෙ අර කථා කරන්න බැරි අසංවාදී සුසුම්වල වේගයේ රිද්මයෙන් ඇය නොදන්නා වීනාව වයන්න. ඇයව බලෙන් ඇල්බර්ට්ට විවාහ කරලා දෙන්න හැදුවත් ඇය අකමැතියි. ඔහුගේ සුසුම් ඇයට සමීපයි. ඇය තමයි ඒ සුසුම් හොඳින්ම හඳුනන්නෙ.
අර සොහොයුරා ටිකෙන් ටික පවුලට නැවත සමීප වෙද්දි ඇය තනි වෙනවා. ඇය විස්සෝපයට පත්වෙනවා. ඇයට ඒ වෙනස දරා ගන්න අමාරු වෙනවා. මෙතෙක් සම්පත් හාමුට තේ අරන් ගිය ඇයගෙ ඇතින් ඒ තේ බන්දේසිය ඉල්ලගෙන නිර්මලාව තේ අරන් යනවා.
නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කළඑළි ගන්වා
වයන්න වීණා
කන්යාවී
ඊළඟට එන්නෙ සංඛේත ගොඩක්. නියඟලා මල් පාටින් එන දේදුණු, ඒවා දෙබෑ කරන් එන ගිරා පැටවුන්. මොකද්ද මෙතනින් කියවෙන්නෙ? නියඟලා මල් හරීම ලස්සන රන්වන් පැහැයෙන් යුක්තයි. ගිනි පාටක්. දේදුණුත් ඒ පාටයි. වර්ණ සංකලනයකින් යුක්තයි. නියඟලා අලය මාරාන්තිකයි. සේවිකාවට පිහිටක් නෑ. නමුත් විස අනාගතයක් සහිත පැතුම්.. දේදුනු කියන්නෙ පැතුම්. ඒවා දෙබෑ කරගෙන එන ගිරා පොව්වන් කවුරුන්ද ... ඒ ගිරා පැටවුන් මං හිතන්නෙ නම් සිරිල් කියන අයියා සහ ඇල්බට් කියන වෙන්ට සැමියා. ඔහු උත්සාහ කරනවා මේ සේවිකාව බලෙන් විවාහ කරවන්න. ඇව පියුම් කැකුළක්. ඒ පියුම් කැකුළ බලෙන් පුබුදන්න අර ගිරා පැටවුන් උත්සාහ කරනවා. නමුත් ඇත්තටම බලෙන් පුබුදන හංසයා තමයි බලය ඇති කාලෙ ආබාධිත වෙන්න පෙර ඇය සමඟ ලිංගිකව එකතු වුණු සොහොයුරා. ගිරවුන්ගෙ ස්වභාවය කච කචේ. කියවන එක. ඔවුන් ඇයට කරච්චලේ. ඔහේ කියවනවා. ඇයට ඔ්න ඇගේ නෙළුම් කැකුළ කියන පතිවත සම්පත් හාමු මහත්තයාට දෙන්න. නමුත් ඔහුගෙනුත් ඇය ප්රතික්ෂේප වෙනවා.
අන්තිමේදී ඔකඳ වී රිද්මයෙන් රසා තලය කළ එළි ගන්වා කන්යාවී කියන සරස්වතියට වීණාව වයන්න කියනවා.
ඔකඳ වෙනවා කියන්නෙ සන්තෝෂයට පත් වෙනවා කියන එක. මේ වචන සියල්ලම අවසානයේ තියන සංගීතයට ඉලක්ක වෙනවා. සම්පත් හාමු මහතාගෙ යාලුවෙක් තමයි නිර්මලාවත් එකතු කරගෙන මේ සංගීත වැඩසටහන පටන් ගන්නෙ. සේවිකාවගෙ ආදරය පරදා සංගීතය දිනනවා. ඒ රිද්මය සේවිකාවට බැරි භාසාවක්. නිර්මලාට පුළුවන්. ඇයට වයලීනයත් පුළුවන්. නිර්මලාගෙ සැමියා අතිශය කාර්ය බහුලයි. ඒ දුර්වලතාවය මත්තෙ ඇය මුල පටන්ම උපක්රමශීලීව ආබාධිත ඔහුට සමීප වෙනවා.
එන්න එන්න රස තලය කළඑළි කරලා, වීණාව වයන්න කියලා අවසන් වෙන්නෙ ඒකයි. ඉතින් මට හැකි තරමින් මේ තමයි ගීතය. මේ ගීතය චිත්රපටයේ ඇහෙන්නෙ මුල් පැය දෙක ගියාට පස්සෙ.
එතනින් පස්සෙ චිත්රපටයේ වෙන දේවල් කියන එක චිත්රපටයට හානියක්. ඒ නිසා ඒක ඉහත ලිංක් එකෙන් බලන්න.
කියෙව්වාට ස්තුතියි.
© දෑරංගල කුසලඤාණ
No comments:
Post a Comment