ගීයක අරුත - 4
ඔන්න ඉතින්. රෑ 11.18 ත් වෙලා. නිදාගන්න - සැතපෙන්න හැදුවම.... දැක්කා මේ ගීතයෙ අරුත ඉල්ලලා. ඉතින් ඒකත් ලියලම නිදාගන්නවා.
පැහැසර අරුණක ඉරමල පිපුණාවේ.... මේ ගීතය යුද්ධය නිමාවේවා කියන පැතුම උපමා රූපක වලින් දක්ෂ ලෙස කියා පා ඇති, අසන්ක පියමන්තයන්ගේ ගායනයෙන් විශිෂ්ට සාධාරණයක් කළ ගීතයක්. ඉරමල කියන්නෙ ඉර නමැති මල. ඒ කියන්නෙ යුද්ධය නිමේවා කියන ප්රාර්ථනය. පිපුණාවේ, ඇසුණාවේ වැනි පදවලින් පැතුම තීව්ර ලෙස කියාපානවා කියලයි වැටහෙන්නෙ.
පැහැසර අරුණක ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
අරුණ කියන්නෙ උදෑසන කියන එක. ඉර පායන්නෙ උදේට. ඒ ඉර සාමාන්ය ඉරක් නෙමෙයි. යුගාන්ධකාරය මකන ඉරක්. සාමාන්යයෙන් ඉරක් පායද්දි අඳුර මැකෙනවා. මෙතන යුද්ධ කාලය තමයි යුගාන්ධකාරය. යුගයක් කෙළවර විශ්වය අඳුරෙන් වැහෙනවා. ඒක බියකරු අත්දැකීමක්. ඉර පායන්නෙම නෑ. අන්න ඒ අන්ධකාරය නැතිවෙලා යන්න නම් යුද්ධයේ දුම (යුද දුම) ක්ෂණිකව නිවෙන ඉරක් පායන්න ඔ්න.
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ
ඉතින් හිමිදිරියක සීතලට අපි අඩවන්ව ඇහැරෙමින් ඉන්න වෙලාව. සැහැල්ලු සිහින හෙවත් ලූසි ඩ්රිම්ස් දකින්නෙ මේ වෙලාවට. එහෙම හීන ඒ තරම් ප්රබල නෑ. ඒ නිසා ශංෂයෙන් වගේ, සැකයෙන් වගේ කියනවා ඒ වගේ සීතල හීනෙක දැවටිලාවත් ... සාමය ඇතිවේවා කියලා. ඒක කියන්නෙත් සංඛේතයෙන්. පරෙවියා කියන්නෙ සාමයේ පක්ෂියා. පරෙවි පියාපත් ඇසුණාවේ කියන්නෙ ඒකයි.
සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ
යුද්ධ හටගන්නෙ හිතේනෙ. ඒකනෙ බුදුන්වහන්සෙ දේශනා කළේ කෙළෙස් යුද්ධය තමා අමාරුම යුද්ධය කියලා. ඒ යුද්ධය පිටස්තර අය සමඟ තියන යුද්ධයක් නෙමෙයි. තමා සමඟ තියන යුද්ධයක්. ඉතින් බාහිරින් තියන සියලු යුද්ධත් හිතේනෙ හටගන්නෙ. ඒ යුද්ධ මිය යා යුත්තෙත් හිතේ. මෙතන කියන සිත සිර කොට බැන්ද දඬු වැට තමයි සිංහළ දමිළ භේදය. ජාතිවාද වැට. ඒ වැට බිඳිලා සිතින් සිතට සෙනෙහස් සුළඟ / සුවඳ හැමුවාවේ කියන පැතුම මෙහි ගැබ්ව තියනවා.
ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ//
ලියවැල් නින්දෙ. ඒ ලියවැල් ඇහැරිලා මල් පිපෙනවා නම්... ඒ කියන්නෙ එති එතී මිනිස්සු එකා වන්ව ඉන්නවානම්... දරුවො දෙමව්පියො සිංහළ දමිළ ... එක ගහේ එතී පෝෂණය ලබනවා නම්... ඒ මල් දකින්නයි ඔ්න කියලයි කියවෙන්නෙ.
දෑල කියන්නෙ ඉවුරු දෙක කියන එක. ඒ කියන්නෙ උතුර සහ දකුණ. ඉඳුසැව් කියන්නෙ දේදුණු කියන එක. ඉඳු කියන්නෙ ඉන්ද්රයා. සැව් කියන්නෙ දුනු. ඉන්ද්රයාගේ දුනු... ඒ කියන්නෙ දේදුන්න. දේදුන්න කියන්නෙ දැන් තියන සමරිසි අයගෙ සංඛේතය නෙමෙයි. බලාපොරොත්තුවේ සංඛේතය. ඒ දේදුණු පායාවා කියන අදහසයි මේ කියවෙන්නෙ.
ඉතින් මිතුර, මිතුරිය, මතක් කරගන්නකො යුද්ධය සැරටම ගියපු කාලෙ. අම්මා විතරක් කඩේ යනවා අපි ගෙදර තියලා තාත්තා එක්ක. එක්කො තාත්තා විතරක් කඩේ යනවා අම්මා අපි එක්ක තියලා. මුළු පවුලම එකම බස් එකක, වාහනයක නොගිය කාලයක්. හමුදාවෙ ඉන්න අයියලා අක්කලා ගැන නිවුස් අහන් ඉන්න බැරි කාලයක්. කොටින්ම කියනවා නම් ලේ උණුසුමෙන් අපි සීතල කරපු කාලයක්. ඒ කාලෙ අපේ හිත්වල තිබුණෙ වෛරයක්. ඒ වෛරය මකන්න සාහිත්ය කලා කෙතේ වපුළ මහඟු බීජ අතර ඵලදැරූ වටිනා ගීතයක් තමයි මේ ගීතය.
අදහන්නත් අමාරුයි මේ ගී පද නිලාර් එන්. කාසිම් ලියූ බව. හේතුව ඔහු සිංහල ගෞරව උපාධියක් තියන මාතර රාහුලේට ගිය කොල්ලෙක්. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. සිංහල බසට පූර්ව ජාතියේ පිනෙන් පෙම් කරන අපූරු පෙම්වතෙක්. මේ ඔහුගැන ලිපියක් - https://www.itnnews.lk/2018/09/04/27077/
ඔහු තමා ලිව්වෙ සඳ දිය දෙවුණ සේ ... ගීතය. ඒ මා ප්රිය කරන තවත් ගීතයක්. පසුව ඒ ගැන ලියන්නම්...
පැහැසර අරුණක ගීතයට තවත් අර්ථකථන තියනවා - http://geeyaka-arutha.blogspot.com/2016/03/blog-post.html
මේ තියෙන්නෙ ගීතය - https://www.youtube.com/watch?v=uERoPYCoVhs
පැහැසර අරුණක ඉර මල පිපුණාවේ
යුගඳුරු යුද දුම සැණෙකින් නිවුණාවේ
හිමිදිරියේ . . . සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ
සිත සිර කොට බැඳි දඬු වැට බිඳුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ..//
ලියවැල් ඇහැරී යළි මල් පිපුණාවේ
දෑලම යා කළ ඉඳු සැව් ඇදුණාවේ//
පැහැසර අරුණක...
ගායනය - අසංග ප්රියමන්ත පීරිස්
තනුව - සමන්ත පෙරේරා
පද රචනය - නිලාර් එන්. කාසිම්
නිදමි. දැන් රෑ 11. 53
දෑරංගල කුසලඤාණ
No comments:
Post a Comment