Friday, October 27, 2023

රතු නුවන් පෙති නෙතු වියන් යට.... හඬා වැලපෙන කොකිලාවී....

ගීයක අරුත - 5
මේ ගීතයේ මෑතකදී සමාජයේ කතාබහට ලක් වූ කතාවක් තියනවා. මේ ගැනම ලියන්න කියූ නිසා ලියනවා. ගීත විචාර ලියන්න කියලා ඉල්ලීම් එවන අය ඉවසන්න. මම මේක විතරක් කරන කෙනෙක් නෙමෙයි. වෙන වැඩ අධික කෙනෙක්. එහෙනම් ගීතයට යමු.
රතු නුවන් පෙති නෙතු වියන් යට....
හඬා වැලපෙන කොකිලාවී....
කෝකිලාවී කියන වචනය දන්නවනෙ. සිංදු කියන කිරිල්ලියක් තමයි ඈ. මෙතන කෝකිලාවී කියන්නෙ ටිකක් වැඩිමහල් ගායිකාවක්. ඇගේ ඇස් රතුවෙලා ඒ ඇස් අස්සෙන් ඈ හඬන්නෙ මොකක් හරි හේතුවකට. /ලස්සනට සිංදු කියන්න පුළුවන් ගැහැණු කෙනෙක් අහක බලාගෙන එළිමහන් තැනක ගලක් උඩ වගේ ඉඳගෙන දෙපා අකුළගෙන දෑත් දෙපා වටා බැඳගෙන ඉන්න ආකාරයේ රුවක් මතක් කරගන්න/.
වසා රතදර සුසුම් තවරා....
මේ පද ටික ඇගේ පෙම්වතාගෙන්. ඔහු බලන් ඉන්නවා ඈ ඇගේ රතදර හෙවත් දෙතොල් වසාගෙන ඒ දෙතොල් වල සුසුම් තවරනවා.... හදවතේ බුර බුරා නැගෙන දුක - සංකාව - තනිකම නිසා.
ඔබේ සුවඳට මත් වෙලා මම.... ඔහේ හිටියා සම වැදී මෙමා....
ඔහේ හිටියා නෙතට නෙතු යොමා.... ඔහේ හිටියා සමවැදී
පෙම්වතා ඇයට ආදරෙයි. ඇගේ සුවඳටත් ආදරෙයි. ඒ සුවඳින් ඔහු මත් වෙලා. ඈව වචනයෙන් සනසන්නෑ. ඔහුත් වදන් නොබිඳ ඇයට එක්වෙනවා. වචන නැතත් ඔහු ඉන්නෙ ඇය සමඟ කතාවක. ගොඩක් ප්රේමය තියන තැන්වල වචන අවශ්යය නෑ කතා කරන්න. ඒත් ලොකු දෙබස් සිදුවෙනවා නිහඬවම. ඔහු ඔහේ ඇගේ සුන්දර මුහුණට සමවැදී නෙතට නෙතු යොමා ඔහේ ඉන්නවා.... ඒක සමාධියක්.
... වින්දනය ලැබුවා.... මන්මත්ව හිටියා.... වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා....
මෙතන තියන වින්දනය ඒක පාර්ශ්විකයි. ප්රේමවන්තයාට පමණයි. ඔහු ඒ විඳින්නෙ ඈව අවසන් වතාවට කියලා ඔහු දන්නෙ නෑ. ගොඩක් පිරිමි දන්නෑ පෙම්වතිය තරහා වුණාම මොකක් කරන්න ඔ්න ද කියලා. ඒ තරහා අස්සෙ තියෙන්නෙ තරහම නෙමෙයි. දුක. දුක වේදනාවට හැරුණම ඈට පාලනය කරගන්න බෑ. /වේදනාව වෛරයට පෙරළෙන තැනක වුණත් මුල තියෙන්නෙ ආදරය. කාලි කතාව වගේ./
ඔහු ඇගේ රුව විඳිනවා. ඔහු ඒ රුවින් මන්මත් වෙනවා.... ඒ ඔහුට කරන්න පුළුවන් දේ. බරක් පතළක් ඔහුට තේරෙන්නෑ....ඔහු ඇයට වඩා ගොඩක් වයසින් බාලයි.
රතු නුවන් පෙති නෙතු වියන් යට.... හඬා වැලපෙන කොකිලාවී....
වසා රතදර සුසුම් තවරා.... ඔබේ සුවඳට මත් වෙලා මම....
ඔහේ හිටියා සම වැදී මෙමා....
ඔහේ හිටියා නෙතට නෙතු යොමා....
ඔහු ඊළඟට ඇයව ස්පර්ෂ කරනවා. ඒ කොටස තමා මේ කියවෙන්නෙ පහතින්.
ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්.... මතින් පැහැපත් රෝස පාටින්....
ඔහුගෙ ඇඟිලි තුඩු ඇගේ රෝස පාට කම්මුල් මත අඳිනවා සියුම්වට. ඇගේ ලස්සන රෝස පාට ඔහුගේ ඇඟිලිවලට වැටිලා.... ඊළඟට ඔහු යන්නෙ ඇගේ දෙකන්පෙති දිහාට. කන් පෙති කියන්නෙ ශෘංගාරය විඳින්න පුළුවන් උපරිම තැනක්. ඒ ස්පර්ෂය විදුලියක් වගේ ස්පර්ෂයක්. විෂේශයෙන්ම පිරිමි ස්පර්ෂයක් වුණාම.
ඒ ස්පර්ෂය තීව්ර වෙනවා. උණුසුමක් දක්වා යෑමට තරම්. ඒ කියන්නෙ ඔහුගේ දිව තුඩම ඇගේ කන්පෙති වලට ළං වෙලා. ඔහුට ඔහුගේ හැඟීම් පාලනය කරගන්න බෑ. ඒ තරුණයන්ගෙ හැටි.
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කෝකිලාවී
ඔහු දිනනවා. අර උණුසුම් ස්පර්ෂයට ස්ත්රී චිත්තය යටත්. ඈ හඬින් අවදිවෙනවා. ඈ කතා කරනවා. තුරුළුවෙන්න මට කියලා. ඒක ව්යංගයෙන් කියලා හඬින් අවදිව කෝකිලාවී කියලා.
ඈ ඔහු දැන් සියලු ගැටළු අමතක කරනවා. සමාජ අපහාස, නින්දා, සමීපතයන්ගේ ගැටළු, අතීතය ... මේ සියල්ලම දැන් ඉවතට.
වින්දනය ලැබුවා.... මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම්
මන්මත්ව හිටියා....
නා නනනේ... නනනේ.... නා නා.... නේ නා නා.....
මේ තියෙන්නෙ ඒ ලැබූ සතුට. ඒ දෙදෙනාගේ එක් වීම. සමාජයේ මෙවන් එක්වීම් කොතෙකුත් ඇති. නමුත් ඔබ ප්රසිද්ධ නම් ඒ සමඟම ඔබට ලැබෙන ටොන් එකක් පමණ අවධානය ඔබට විඳගන්නට සිදුවෙනවා. ඒ විඳගැනීම ඒකපාර්ශ්වීය නොවන්නෙ තමන් පෙම් කරන කෙනා කොහොමහරි ළඟින් ඉන්න නිසා. දැන් ඒ සියල්ල දෙඋරක් මත. ද්වීපාර්ශ්වීයයි. ප්රේමය ඒකපාර්ශ්වීය නම් ප්රශ්න දෙකයි පුද්ගලයො එක්කෙනයි. ප්රශ්න දෙක තමයි ප්රේමය ඒක පාර්ශ්වීය වීමේ දුක සහ ප්රශ්න බෙදාගන්න බැරිකම. ප්රේමය ද්වීපාර්ශ්වීය නම් ප්රශ්න එකයි පුද්ගලයො දෙන්නයි. එතන දෙන්නෙක් ඉන්න නිසා ඒකපාර්ශ්වීය ප්රේමයේ දුක නැහැ. දෙන්නම මුහුණ දෙනවා එකට ඔ්නම දේකට. ඒකට වයස් භේදය අදාළ නැහැ.
මේ ගීතයට ලයාන්විත කටහඬක් එකතු කරන්නෙ මලිත් පෙරේරා කියන යුගයේ තාමත් ජනප්රිය තලයේ රැඳෙන තරුවක්. ඔහු ගායනයෙන් අර කෙළිලොල් බව මොනවට නිරූපණය කරනවා. මෙතන ඔහුගේ චංචලා චංචල නොවී හමු වූ බවක් පේනවා ඇති. ඊට නොදෙවෙනි හද ඇදබැඳගන්නා සංගීතයක් අපිට ඇසෙනවා. දෙවරක් අසන්නට හිතෙන තරම්. ඒ ගායකයාගේත් රචකයාගේත් සංගීතයේත් විශ්මය.
ප්රේමය නම් පුදුමයි.
“You are born half; you will be looking for the other half for the rest of your life” කියලා කතාවක් තියනවා. අපි ඉපදෙන්නෙ අඩක්ව. අපේ ඉතුරු භාගය ජීවිත කාලය පුරාම සොයන්න වෙනවා. සමහර විට කලින් හමුවෙනවා. සමහරවිට වියපත් වෙලා හමුවෙනවා. ඒ ඉතුරු අඩ හමුවුණාම ජීවිතය සම්පූර්ණ වෙනවා. අසම්මතය බිඳෙනවා. ඔවුන්ට එය සම්මතයක්.
මේ තියෙන්නේ ඒ ගීතය - https://www.youtube.com/watch?v=16C5EYW8xwk
නනනේ.... නනනේ.... නානා.... නානා.... රතු නුවන් පෙති නෙතු වියන් යට....
හඬා වැලපෙන කොකිලාවී....
වසා රතදර සුසුම් තවරා....
ඔබේ සුවඳට මත් වෙලා මම....
ඔහේ හිටියා සම වැදී මෙමා....
ඔහේ හිටියා නෙතට නෙතු යොමා....
ඔහේ හිටියා සමවැදී...
වින්දනය ලැබුවා....
මන්මත්ව හිටියා....
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම්
මන්මත්ව හිටියා....
රතු නුවන් පෙති නෙතු වියන් යට....
හඬා වැලපෙන කොකිලාවී....
වසා රතදර සුසුම් තවරා....
ඔබේ සුවඳට මත් වෙලා මම....
ඔහේ හිටියා සම වැදී මෙමා....
ඔහේ හිටියා නෙතට නෙතු යොමා....
ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්....
මතින් පැහැපත් රෝස පාටින්....
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කොකිලාවී වින්දනය ලැබුවා....
මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම්
මන්මත්ව හිටියා....
නා නනනේ... නනනේ.... නා නා.... නේ නා නා.....
-දෑරංගල කුසලඤාණ

No comments:

Post a Comment